Saturday, May 10, 2025
Follow Us
වයස 18ට වැඩි සියලු දෙනා බඳු අයකළ යුතුද?

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවට අනිවාර්ය කිරීම හරහා ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කිරීමේ තීරණය පිළිබද අදහස් දක්වමින්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ සේවක අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රුපියල් 20,000ට වැඩි දායකත්ව මුදලකට හිමිකම් කියන සියලුම සේවකයින් ඊයේ සිට ලියාපදිංචි වීම අනිවාර්ය බවයි.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ ඇතුළු ක්ෂේත්‍ර 14 ක නියැලෙන තැනැත්තන් ඊයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින් මෙන්ම ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් ද මේ යටතේ ලියාපදිංචි විය යුතුයි.

ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිලදී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින් ද ඒ අතරට අයත්.

දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මාසිකව රුපියල් ලක්ෂයක් හෝ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු ද ලියාපදිංචි විය යුතුයි.