Friday, April 19, 2024
Follow Us
ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල අඩු වෙයිද?

රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි.
ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
පසුගිය දා අමාත්‍යරයා දේශීය සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග පැවැති මෙවැනි සාකච්ඡාවකින් අනතුරුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙලීමට ද තීරණය කෙරිණි.