Saturday, July 27, 2024
Follow Us
ඩොලර් බිලියන 2ක තේ ආදායමක් ගැනීමේ ව්‍යාපෘතියක්

ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය.

මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6ක් සඳහා ද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසරවල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවිලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවයි.
එහිදී ,
1) පොල් - ඩො.මි 890
2) රබර් - ඩො.බි 1
3) කුරුඳු -ඩො.මි 420
4) තේ - ඩො.බි 1.23
ලෙස ජාතික අපනයන ආදායමට ලබාදුන් බවයි.
ශ්‍රී ලංකාව පුරා කුඩා තේ වතු හිමියන් ලක්ෂ 4 ක් පමණ සිටින අතර ඔවුන්ට තේ වගාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර නොවෙනස්ව ඉදිරියටත් ලබාදෙන බවත් ඉදිරියේදී පොහොර මිල තවදුරටත් අඩුකිරීමට හැකි වනු ඇති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසීය.
මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියම මඟින් කුඩා තේ වතු හිමියන්ට වසර 1 ½ කින් පමණ ආදායම් ඉපයීමට හැකියාව ලැබේ . ඊට අවශ්‍ය තේ පැල හා කොම්පෝස්ට් පොහොර රජය විසින් ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධන අරමුදල විසින් ලබාදෙනු ලැබේ.