Saturday, July 27, 2024
Follow Us
බදු අභියාචනා සඳහා විශේෂ අධිකරණ ක්‍රමයක්

රජයට අයවිය යුතු රුපියල් බිලියන 950ක බදු මුදලින් අභියාචනා සහ විරෝධතා නොමැති රුපියල් බිලියන 270ක් පමණ බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවැති මෙම කමිටු රැස්වීමේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ ආර්ථික අර්බුයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එක්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ විවිධ නව බදු හඳුන්වා දී රජයේ ආදායම ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබියදී රජයට ආදායමක් ලබා දෙන විශාල ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම ආදායම එකතු කළ හැකිද යනුවෙන් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කළේය.

ඒ අනුව අභියාචනා සඳහා තිබෙන ප්‍රතිපාදනය අවභාවිතා කරමින් බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටින බවත් එවෙනි අභියාචනා කටයුතු අවසන් වීමට වසර 2-7ක පමණ කාලයක් ගත වන බවත් මේ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පාලනය කළ නොහැකි අධිකරණ කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවන නීතිමය වශයෙන් පවතින අභියාචනා ප්‍රතිපාදන නිසා මෙය සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා පෙන්වා දුන්නේ වෙනත් රටවල පවතින බදු සම්බන්ධ නඩු විභාග කිරීමට පවතින ආකාරයේ  විශේෂ අධිකරණ පද්ධතියක් මෙරට පවතී නම් මෙම නීතිමය කටයුතු කඩිනමින් අවසන් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර බදු අභියාචනා කටයුතු සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට පියවර ගන්නා බව කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, බදු ලිපිගොනු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන්, බදු ගෙවන ලිපිගොනු සංඛ්‍යාව පිළිබඳව කමිටුව විසින් විමසා සිටින ලදී. කෙසේ වෙතත් අදාළ තොරතුරු නිලධාරීන් සතුව නොමැතිවීම හේතුවෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කළ අතර මීළඟ කමිටු රැස්වීමේදී එම තොරතුරු ලබාදෙන ලෙස උපදෙස් දෙන ලදී.

මේ අතර, රට තුළ සිදුවන දැවැන්ත ගනුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද කමිටුවේ සාකච්ඡා කරන ලදී. 

එබැවින් මේවා ලබාගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා ලබා දෙන බවත් කමිටු සභාපතිවරයා පැවසීය.