Saturday, July 27, 2024
Follow Us
ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

රජය ගත් සුවිශේෂී අර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනිත භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බවයි.

අද (19) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

භාණ්ඩවල මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක යෙදෙනෙ බවයි අමාත්‍යවරා එහි දී සඳහන් කළේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර වර්ග හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ ද්‍රව්‍ය හා උපකරණ මිල ගණන් මෙන්ම පාසල් උපකරණ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් කෙසේ අඩු වන්නේ ද, එසේ අඩුනොවන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ‍අදාළ සමීක්ෂණය මගින් සොයා බලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.