Friday, April 19, 2024
Follow Us
යාපනයේ අර්තාපල් අල කිලෝ 50,000ක් දඹුල්ලට ලැබිලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනේ අර්ධද්වීපයෙන් විශාල වශයෙන් අර්තාපල් අල අස්වැන්න ලැබෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

යාපනේ ගොවීන් විසින් වගා කරන ලද අර්තාපල් අල ඊයේ (10) උදෑසන කිලෝ 50,000කට අධික ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. පසුගිය දිනවල දේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රු. 170ත් 200ත් අතර මිලකට අලෙවි වූ බවත්, මේ වන විට යාපනේ දේශීය අර්තාපල් අල කිලෝවක් රු. 120ත් 140ත් අතර මිලකට අලෙවි වන බවත් ඔවුහු පෙන්වා දෙති.

පාකිස්තානය සහ බංගලදේශය යන රටවලින් මේ දිනවල වැඩි වශයෙන් මෙරටට අර්තාපල් අල ගෙන එන බවත්, රු. 90ත් 95ත් අතර කිලෝවක තොග මිලකට අලෙවි වූ විදේශීය අර්තාපල් කිලෝව ඊයේ (10) රු. 120ත් 130ත් අතර මිලකට අලෙවි කරන බව ආනයන අර්තාපල් අල වෙළෙන්දෝ පවසති. කෙසේ වෙතත් යාපනය අර්ධද්වීපයේ මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කැරට්, රතු ලූනු, එළවළු වර්ග, රැසක් ලැබෙමින් පවතින බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවද ව්‍යාපාරිකයෝ පවසති.
Dinamina