Friday, April 26, 2024
Follow Us
IMF ණය ලබා ගැනීමට අවශ්‍ය සියලු පියවර සම්පූර්ණ කර අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් හිමිවන ණය ලබාගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගතයුතු සියලු පියවර මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ (මාර්තු 03දා) පැවති මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිත ණය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් නන්දලාල් ආචාර්ය වීරසිංහ මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් වන අවසන් පියවරට නුදුරේදීම සාර්ථකව යාමට තමන්ට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්, එවිට සියල්ල මීට වඩා යහපත් අයුරින් යථා තත්වයට පත්වනු ඇති බවත්ය.

විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවී තිබෙන බවත්, මෙතෙක් ගත් ආර්ථික ස්ථායිකරණ පියවර ඊට හේතු වූ බවත්, මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය බලාපොරොත්තු වන කාල සීමාව තුළදී ලබාගැනීමට හැකි නොවුනහොත් ඒ සම්බන්ධයෙන් දෙවැනි සැළසුමක් ඇත්ද යන්න මාධ්‍ය විමසු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණු කාලසීමාවේදී නොලැබුණොත් දැනට තිබෙන වර්ධනයත් සමග දිගටම යා හැකි බවත්, මේ වන විට සිටින්නේ සැළසුම් කරගත් විකල්ප සැලසුමේ බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

චීනය එම වැඩපිළිවෙලට සහාය සිතූ පරිදි දක්වා ඇත්ද යන්න මාධ්‍ය විමසු විට ඔහු පැවසුවේ මේ වන විට චීනය පවා මෙරට සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිචාර දක්වා ඇති බවයි.

news.lk