Tuesday, April 23, 2024
Follow Us
දේශීය අගය එකතු කළ මෝටර් සයිකලය එළිදකී

කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ , අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දී ඊයේ මෙය එළිදැක්වීය.


එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ගෝලීය කොරෝනා අර්බුදය, රුසියානු යුක්ක්‍රේන යුද්ධය නිසා ඇතිවූ ගෝලීය තත්වයන් මත මෙරට මතුවූ ආර්ථික අර්බුදය නිසා නිර්මාණය වූ විදේශ විනිමය හිගකමෙන් මෙරටට වාහන ආනයනය නතර කිරීම මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් නව ජවයකින් නිර්මාණය කිරීමට හේතු වූ බවයි. එම කර්මාන්තය ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය උපරිම කටයුතු සිදුකරන බව වැඩිදුරටත් සදහන් කළ අමාත්‍යවරයා දැනටමත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ලංකාවේ වාහන නිෂ්පාදනය , කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP) මගින් බලාත්මක කොට ඇති බවත් සදහන් කළේය.

මෙම පුද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 1.5 ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුලින් මූලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම Senaro GN 125 නිෂ්පාදනය කරයි. ඉතා ඉක්මණින්ම එම අගය එකතුකිරීම 50% දක්වා ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීමද සිදුවෙයි.

මෙම හඳුන්වා දීමේ අවස්ථාවේදී Senaro GN 125 මෝටර් සයිකල් 130 ක් සදහා ඇනවුම් ලැබීම, දිවයින පුරා අලෙවි නියෝජිතයන් පත් කිරීම, මෝටර් සයිකලය සදහා එක්කරන දේශීය උපාංග නිපදවන්නන් හඳුන්වාදීම ආදි කාර්යන් රැසක් සිදුකෙරිණි