Wednesday, September 17, 2025
Follow Us
ඩොලරයේ මිල හා බඩු මිල

ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල් හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද ?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි ?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ.

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිලදී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදනවල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩවල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩවල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම්වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ ? රට ඇතුළේ දේශීය නිෂ්පාදනවලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩවලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදනවල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද ?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත් ඒ එක්කම කලින් මිලදී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිලදී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තවදුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිලදී ගනිද්දී දේශීය භාණ්ඩවල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුවෙන් මිල ඉහළ යනවා. විනිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමට නම් දේශීය නිෂ්පාදන, ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්නේ එකම තරමින්. සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද ? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විනිමය අනුපාතයද ඉහළ යන්න ඉඩදිය යුතුයි. සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විනිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩවල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද ?

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ.

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි.

විනිමය අනුපාතය තිබිය යුතු 'නියම තැන' කොතැනද ? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විනිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවා නම්, සිංගප්පූරුවේ වගේ, විනිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. ඒත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවා නම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩිවෙන එකයි.

විනිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

(LNW)