Friday, November 20, 2026
Follow Us
ලෝක බාලදක්ෂිකා සංගමයේ (WAGGGS) ආසියා පැසිෆික් කලාපීය නියෝජිතයෝ පිරිසක් අගමැතිනිය හමු වෙති

ලෝක බාලදක්ෂිකා සංගමයේ (World Association of Girl Guides and Girl Scouts – WAGGGS) ආසියා පැසිෆික් කලාපයේ නියෝජිතයෝ පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ගැහැනු දරුවන් තුළ නායකත්වය, විනය, කණ්ඩායම් හැඟීම, ආත්ම විශ්වාසය සහ සමාජ වගකීම වර්ධනය කිරීම සඳහා එම ව්‍යාපාරය ඉටුකරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳවද අවධානය යොමු කළාය.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ (Sri Lanka Girl Guides Association – SLGGA) සහයෝගීතාවයෙන් 2026 නොවැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වූ WAGGGS ආසියා පැසිෆික් කලාපීය වර්ධන හුවමාරු වැඩමුළුව (Growth Exchange Workshop 2026) සාර්ථකව පැවැත්වීම පිළිබඳවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධානය යොමු කළා ය. මෙම සමුළුවේදී ආසියා පැසිෆික් කලාපීය සාමාජික රටවල් වන බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය නියෝජනය කරමින් පැමිණි සිටි නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් මෙම වැඩමුළුවට එක්ව සිටියහ.

පාසල, පවුල සහ සමාජය තුළ ගැහැනු දරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් සමාන අවස්ථා සහ සහභාගීත්වය, නායකත්වය සහ පෞද්ගලික සංවර්ධනය සඳහා පවතින බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම අභියෝග ජයගනිමින් තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, සමාජයට සක්‍රීයව දායක වීමටත් ගැහැනු දරුවන්ට හැකි වන පරිදි සහයෝගී සහ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

ගැහැනු දරුවන් සහ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් WAGGGS සහ එහි සාමාජික සංවිධාන අඛණ්ඩව සිදුකරන මෙහෙවර අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක්විය. බාලදක්ෂිකා ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරමින් එහි ව්‍යාප්තිය දිවයින පුරා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මියද සහභාගී වූවාය.