නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව සුභසාධන ප්‍රතිපත්ති රැසක් හරහා රටේ මානව සංවර්ධනය ඉහළම තැනකට ගෙන ආ රටකි. අධ්‍යාපනය හා සෞඛ්‍යය පිළිබඳ නිර්ණායකයන් අනුව දකුණු ආසියාවේ ඉහළම තැනක සිටින අප, වෙනත් ඉහළ සංවර්ධනයක් ඇති රටවලට සාපේක්ෂව ද වඩා හොඳ ස්ථානයක සිටී.
මේ සියල්ල අබිබවා ශ්‍රී ලංකාව තවදුරටත් ලොව ප්‍රසිද්ධියට පත්වන්නේ ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ රට ලෙස ය. 1960 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙලෙස ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ අතර, කාන්තාවට ඡන්ද බලය ලබා දුන් රටවල් අතරින් පළමු කාණ්ඩයේ රටක් ලෙස ද ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 50% ඉක්මවා ඇත. නමුත්, මෙතරම් ඉහළ වැඩි ජනගහන ප්‍රතිශතයක් හිමි කරගෙන සිටියත් කාන්තාවට අප රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හිමිව ඇත්තේ 5% වැනි අඩු නියෝජන ප්‍රතිශතයකි. මෙය දකුණු ආසියාවේ පහළම පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. අපට ඉදිරියෙන් සිටිමින් නේපාලයේ 33% ක කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් ද බංග්ලාදේශයේ 19.7% කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් ද ඉන්දියාවේ 10.9% කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් ද දක්නට ලැබේ. කාන්තා පාර්ලිමේන්තු නියෝජනය අතින් රටවල් 190ක් අතරින් අපට හිමිවන්නේ 180 වැනි පහළම ස්ථානයකි. පාර්ලිමේන්තුවේ මෙම අඩු නියෝජන ප්‍රතිශතය, වෙනත් නියෝජිත ආයතන වන පළාත් සභාවල ද, පළාත් පාලන ආයතනවල ද දක්නට ලැබේ.
2016 අංක 01 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතින් ප්‍රථම වරට රටට හඳුන්වා දුන් කෝටාව හරහා 25% ක කාන්තා නියෝජනයක් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තරමක් දුරට මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබුණු බවක් දක්නට ලැබිණි. එහෙත්, එය ද ප්‍රායෝගික දේශපාලන තලයේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම ඉතාමත් කනගාටුදායක ය. මෙවන් ප්‍රවණතාවක් දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව, රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ මෙන්ම, නීති සහ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි ද ඉහළම තනතුරුවල ද දක්නට ලැබීම අවාසනාවන්ත තත්ත්වයකි. මෙය මෙසේ සිදුවන්නේ මෙරට කාන්තාවන් අධ්‍යාපන මට්ටමේ දී, පිරිමින් සමග කරට-කර එසේත් නැතිනම්, ඊටත් වඩා ඉදිරියෙන් සිටින පසුබිමක ය. සාක්ෂරතා අනුපාතය, ආයු අපේක්ෂාව වැනි විවිධ මානව සංවර්ධන නිර්ණායකයන්ගෙන් ද, විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමේ ප්‍රතිශතය ද සලකා බැලීමෙන් ද, මේ තත්ත්වය අපට මැනවින් දැකගත හැකි ය.
පවතින නීති රාමුව
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැහැනියක සහ පිරිමියෙකු අතර පැවතිය යුතු සම අයිතිය පිළිගෙන තහවුරු කර තිබේ. ඊට අමතරව, නීතිය ඉදිරියේ දී එක හා සමානව පිදුම් ලැබීමට හා ස්ත්‍රී පුරුෂ භාවය මත ඇතිවිය හැකි වෙනස් ලෙස සැලකීම්
(Discrimination) වැළැක්වීම ද ප්‍රත්‍යක්ෂ කර තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකාව ගිවිසගෙන ඇති CEDAW (Convention on the Elimination of All Forms of Discrimination against Women) - කාන්තාවන්ට සිදුවන සියලුම ආකාරයේ වෙනස් ලෙස සැලකීම් ඉවත් කිරීම වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ද මෙම සමානාත්මතාව පිළිගෙන ඇත.
CEDAW නම් ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබන්නේ 1981 වසරේ දී ය. මෙම සම්මුතිය පදනම් කරගෙන 1991 වර්ෂයේ දී අපේම කියා ප්‍රඥප්තියක් ප්‍රතිපාදනය කරගන්නට අපට හැකියාව ලැබිණි. එම ප්‍රඥප්තියේ 02 පරිච්ඡේදය ii වගන්තිය අනුව,
පොදු සහ පෞද්ගලික ස්ථානවල කාන්තාවන්ට ඇති සියලු බාධක නැති කිරීමටත්, දේශපාලන සහ පොදු කටයුතුවල දී ඇති සියලු බාධක ඉවත් කිරීමටත් අවශ්‍ය සියලු සුදුසු පියවර ගැනීමට ද, මහමැතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවල දී පිරිමින් සමග සම නියෝජනයක් ලැබෙනසේ නාමයෝජනා ලබාදීමට හැකිවන පරිදි පහසුකම් සැලසීමට රජය විසින් සියලු පියවර ගත යුතුය ” යන්න ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇත.
1995 සැප්තැම්බර් මස බීජිං (Beijing) නුවර පැවති 4 වැනි ලෝක කාන්තා සමුළුව (4th World Conference on Women / The Beijing Declaration and Platform for Action) මගින්ද කාන්තාවන්ට දේශපාලන අධිකාරියට ප්‍රවේශ වීමට සහ සහභාගිත්වයට ඇති සම අයිතිය පිළිගැනුණු අතර සියලු රාජ්‍ය නායකයන් විසින් දේශපාලන නියෝජිත ආයතනයන්හි තුනෙන් එකක නියෝජනයක් කාන්තාවන්ට ලබාදීමට ප්‍රතිඥා දෙනු ලැබිණි. මීට අමතරව 2015 වර්ෂයේ නිව් යෝර්ක් නුවර (New York) පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ලොව රාජ්‍ය නායකයන් විසින් ඒකමතිකව පිළිගැනුණු තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයෙහි (Sustainable Development Agenda) අරමුණු දාහතෙන් 5 වන අරමුණ වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව (Gender Equality) යන අරමුණෙහි ප්‍රධාන ඉලක්කයක් ලෙස කාන්තාවන්ගේ පූර්ණ සහ ක්‍රියාකාරී සහභාගිත්වය ද දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ ද, පොදු කාර්යයන් හි, නායකත්වයේදී ද කාන්තාවන්ට සම අවස්ථාව ලබාදීම පිළිගෙන ඇත.
මේ ආකාරයෙන් බලනවිට ශ්‍රී ලංකාවේ පිළිගත් නෛතික රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වෙනත් නීති සහ ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති ජාත්‍යන්තර නීතියට ද අනුව කාන්තාවට දේශපාලන කරළියේ සම භූමිකාවක නියෝජනය ලබාදීමට ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව බැඳී සිටී.
දේශපාලනයේ සිටින කාන්තාවන්
දේශපාලන තනතුරුවලට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු එම නියෝජනයන් ලබාගෙන තිබෙන්නේ තම ස්වාමිපුරුෂයාගේ හෝ පියාගේ ඝාතන හෝ මරණ හේතුකොට ගෙන ය. ඇඩ්ලින් මොළමුරේ සහ නසියුම් සරවනමුත්තුගෙන් පටන් ගත් මෙම නැඹුරුව මගින් මේ වනතෙක් ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනය නිර්වචනය වී තිබේ. 1960 වර්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වූයේ ද, සිය ස්වාමිපුරුෂයාගේ ඝාතනයෙන් පසුව ය.
ජයවර්ධන සහ කොඩිකාර වැනි විද්වතුන් පෙන්නා දෙන්නේ 1930, 1940, 1950 වකවානුවේ දේශපාලනයට පැමිණි කාන්තාවන්ට වඩා අද දේශපාලනයේ යෙදී සිටින කාන්තාවන් දේශපාලන පසුබිමකින් පැමිණි නියෝජිතවරියන් වුව ද, ඔවුන් අතර සුවිශේෂ වෙනස්කම් දැකිය හැකි බව ය. එවැනි දේශපාලන කාන්තාවක් වන විවියන් ගුණවර්ධන වැනි කාන්තාවෝ දේශපාලනයට කැප වූ විවිධ මානව අයිතිවාසිකම්, වෘත්තීය සේවක අයිතිවාසිකම් වැනි දෑ දිනාදීමට ඉතා වුවමනාවකින් කටයුතු කළෝ වෙති. නමුත්, නූතනයේ දේශපාලනයේ යෙදෙන කාන්තාවන් බොහොමයක් මෙවන් පසුබිමක් නොමැති, තම පියා හෝ ස්වාමිපුරුෂයා දේශපාලනයේ යෙදී සිටි නිසා පමණක් දේශපාලනයට ප්‍රවේශ වූ කාන්තාවන් බව පෙනේ.
එමෙන්ම, මුස්ලිම් සහ දෙමළ දේශපාලන කාන්තා නියෝජනය ද ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක ය. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් දොළොස් දෙනාගෙන් දෙමළ කාන්තා නියෝජිතවරියන් දෙදෙනකු සිටින අතර, එක් මුස්ලිම් නියෝජිතවරියක හෝ තේරීපත් වී නැත. අනෙක් නියෝජිතවරියන් දස දෙනාම සිංහල කාන්තාවන් ය.
2016 මැතිවරණ ප්‍රතිසංස්කරණ
මෙම තත්ත්වයේ වෙනසක් ඇතිකිරීම සඳහා 2016 සම්මත වූ අංක 01 දරන මැතිවරණ ප්‍රතිසංස්කරණ පනත (Local Authority Election (Amendment) Act No:01 of 2016) මගින් 25% කින් කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගැනීම එක්තරා දුරකට මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ගත් පළමු පියවර ලෙස සැලකිය හැකි ය. එමගින් පළාත් පාලන ආයතනවල නියෝජිත ආසන සංඛ්‍යාව තුනෙන් එකකින් ඉහළ දමා මෙම ආයතනවල කාන්තා නියෝජනය 25% කින් වැඩි කිරීමට පියවර ගැනුණි. මෙම පනත ප්‍රථමවරට අත්හදා බැලුවේ 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන ඡන්ද විමසුමේ දී ය.
නමුත්, මෙම නීතිය ක්‍රියාත්මක වීමේ දී දක්නට ලැබුණු ප්‍රධාන කාරණයක් වන්නේ කාන්තා නියෝජිතවරියන්ට වැඩි ප්‍රමුඛතාවක් දීමට සමහර දේශපාලන පක්ෂවල තිබූ අකැමැත්ත ය. කාන්තා නියෝජනය ලබාදීමට නම් පිරිමි නියෝජනය ද වැඩි කළ යුතු ය යන මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැවතීම පිරිමින්ට ලැබෙන ප්‍රමුඛතාව තවදුරටත් තහවුරු කිරීමක් ලෙස පෙනේ. මේ අනුව බලනවිට රටේ සමස්ත ජනගහනයෙන් 52% ක් වන කාන්තාවට එම නියෝජනය ඔවුනට ලැබී ඇති අයිතියක් ලෙස මෙම සංශෝධනයන් පිළිගෙන ඇති ද යන්න සැක සහිත ය.
එලෙස ම, එම මැතිවරණයේ නාමයෝජනා ලබාදීමේ දී දේශපාලන සම්බන්ධතා සහ හිතමිත්‍රකම්වලට ප්‍රමුඛතාව ලබාදීම නිසා විවිධ දක්ෂතාවන් හා කුසලතාවන් සැලකිල්ලට ගෙන නාමයෝජනා ලබා නොදුන් බවට විවිධ කාන්තා සංවිධාන විසින් පෙන්වාදී ඇත.
කෝටාවෙන් එහා ගිය විසඳුම්වල අවශ්‍යතාව
කාන්තා නියෝජනය තහවුරු කිරීමට 25%ක කෝටාවක් ලබාදීම වැනි දෑ හොඳ ප්‍රවණතාවක් වුව ද, සමාජගත සහ ව්‍යුහගත ප්‍රශ්නයන් තේරුම්ගෙන කාන්තාවන්ගේ දේශපාලනයට ඇති බාධාවලට විසඳුම් සෙවීම බෙහෙවින් වැදගත් වේ. අප රටේ ප්‍රධාන නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට සම තැන හිමි වුව ද, ඒ සඳහා එල්ලවන සමාජගත සහ ව්‍යුහගත බාධා බොහෝමයක් ම ඇත.
ප්‍රධාන වශයෙන් පීතෘ මූලික සමාජයක් වන අප සමාජයේ පවත්නේ ‘කාන්තාවන්ට සම තැන නොව, කාන්තාවන්ට නිසි තැන’ වැනි යල් පැන ගිය පසුගාමී අදහස් ය. කාන්තාවන්ගේ බුද්ධිමය ශක්‍යතා සහ වෙනත් හැකියාවන් නිරන්තරයෙන් තහවුරු වුව ද, ඇය නායකත්වයේ දී පිරිමියාට දෙවැනි තැනක සිටී යන යල් පැන ගිය අදහස් අප සමාජයේ තවත් දක්නට ඇත. එමනිසා, කාන්තාව නායකත්වයට සුදුසු තැනැත්තියක ලෙස පිළිගැනීමට බොහෝ පිරිමින් පසුබට වේ. එමෙන් ම, කාන්තාවන්ට සුදුසු රැකියා ක්ෂේත්‍ර මේවා යැයි නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද ඔවුන් නිර්මාණය කරගෙන ඇත. පිරිමින් පමණක් නොව, සමහර කාන්තාවන් ද මෙසේ පසුගාමී මානසික තත්ත්වයක සිටීම අවාසනාවන්ත තත්ත්වයකි.
කාන්තාවන්ට සමාජයේ හිමි ස්ථානය නිර්ණය වන්නේ ප්‍රථමයෙන් ම නිවසේ දීය. ඉන්පසුව පාසලේ දීය. එවැනි ආකල්ප තවදුරටත් මෙරට මාධ්‍ය මගින් ද තහවුරු කෙරේ. මෙවන් ආකල්ප මගින් කාන්තාවන්ට සුදුසු ස්ථානය නිර්වචනය වීම නිසා දේශපාලනයට අවතීර්ණ වීම කාන්තාවන්ට නුසුදුසු ක්‍රියාවක් ලෙස කාන්තාවෝ ම බොහෝවිට තීරණය කරති. ඒනිසාම, තම පවුලේ සාමාජිකයන්ගේ ද, ඥාති හිතමිත්‍රාදීන්ගේ ද සහාය ඔවුන්ට ලබා ගැනීම ද අපහසු වේ. සමාජය තුළ මෙවන් ආකල්පයන් තවදුරටත් පැවතීම අවම කිරීම හෝ නැතිකර දැමීම කාන්තා දේශපාලනය වඩ-වඩාත් තහවුරු කිරීමට හේතුකාරක වනු ඇත.
අප රටේ පවත්නා දේශපාලන පක්ෂවල ද අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් දක්නට නැති තරම්ය. දේශපාලන පක්ෂ නායකත්වයේ 100% ක් පමණ සිටින්නේ පිරිමින් වන හෙයින්, එම ආයතනවල පවතින සම්මතයන් පුද්ගලයන්ගේ ආකල්ප සහ ඔවුන් වැඩ කරන ආකාරය සහ ශෛලිය ද පිරිමින්ට සුදුසු ලෙස ම නිර්මාණය වී ඇත. දේශපාලන පක්ෂවලට අනුබද්ධ කාන්තා සංවිධාන කොතෙක් තිබුණ ද, එම සංවිධාන ද මෙම බල ව්‍යුහය මත පදනම් වුණු බොහෝවිට මැතිවරණයන්හිදී පිරිමි නියෝජිතයන්ට ඡන්ද එකතු කරන අංශයන් පමණක් බවට පත්වී තිබේ.
දේශපාලන පක්ෂ මගින් ද කාන්තාවන් ඉදිරියට දැමීමේ වැඩපිළිවෙළක් ස්ථිර ලෙස නිර්වචනය කොට නිර්මාණය කර නොමැත. කාන්තා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැදගත්කම කියා නිමකළ නොහැක්කකි.
එමෙන් ම, මැතිවරණ සමයේ දී ඇතිවන ප්‍රචණ්ඩත්වයන් කාන්තා දේශපාලනයට දැඩිසේ බලපාන කරුණක් බවට පත්ව තිබේ. වාචික සහ කායික ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම ලිංගික අපහාස වැනි දෑ කාන්තාවන්ට දේශපාලනය අපහසු ක්ෂේත්‍රයක් බවට පත් කර ඇත. රජයන් විසින් මෙම මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවම කිරීම හෝ තුරන් කිරීමට මැතිවරණ නීති මත පියවර ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු ය.
එසේ ම, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වැය කරන්නට සිදුවන අධික වියදම් ද කාන්තා දේශපාලන ප්‍රවේශයන්ට ඇති බාධාවක් ලෙස දැක්විය හැකිය. සමස්තයක් වශයෙන් කාන්තාව රටේ ශ්‍රම බලකායේ අඩු ආදායම් ලබන රැකියාවන් හි නිරතව සිටීම නිසා සාපේක්ෂව පිරිමින්ට වඩා අඩු ආදායමක් ලබන්නී ය. එවන් තත්ත්වයක් යටතේ තමන් මහන්සියෙන් උපයාගන්නා සීමිත සම්පත් අධික වියදම් සහිත දේශපාලන මැතිවරණ කටයුතුවලට යෙදවීම කෙරෙහි ඔවුහු ප්‍රමුඛත්වයක් ලබා නොදෙති. මේ නිසාම, තම ස්වාමිපුරුෂයාගේ හෝ පවුලේ ආර්ථික සහයෝගයක් නැතිව දේශපාලන කටයුතුවල නිරත වීම කාන්තාවන්ට අපහසු කාර්යයක් වී තිබේ.
කාන්තා දේශපාලන නියෝජනය ප්‍රවර්ධනය කිරීමට රජයේ සහ දේශපාලන පක්ෂවල කැප වීමද මැදිහත් වීමද ඉතාම අත්‍යවශ්‍යය. අප රටේ 52% ක ජනගහනයක් ඇති කාන්තාවන්ට හිමි ස්ථානය ලබාදීමට තවමත් ප්‍රමුඛස්ථානයක් නොලැබීම කනගාටුදායකය. කාන්තා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනස්කම් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයන් සහ වෙනත් අවශ්‍ය නීතිරීති සම්පාදනයන්, පක්ෂ ව්‍යවස්ථා සහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ගේ යොමුවීම සහ සංශෝධනයන් ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්හි මූලික අංග ලෙස දැක්විය හැකිය. මේ සඳහා රටේ ප්‍රධාන නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදයෙන් ඔබ්බට ගිය විශේෂ විධිවිධාන සැලසීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්නා දියයුතු ය.
කාන්තාවන්ට සමාජයේ හිමි ස්ථානය නිර්ණය වන්නේ ප්‍රථමයෙන් ම නිවසේ දීය. ඉන්පසුව පාසලේ දීය. එවැනි ආකල්ප තවදුරටත් මෙරට මාධ්‍ය මගින් ද තහවුරු කෙරේ.
(Aruna)