- බලශක්ති අභියෝග ජය ගැනීමට සහ කාර්යක්ෂමතාව නැංවීමට නව සැලසුම්
- රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ බලශක්ති පරිභෝජනය කළමනාකරණය කරමින් රාජ්‍ය සේවය අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) නිල මැදුර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ සෑම රාජ්‍ය ආයතනයකම මාර්ගගත (Online) ක්‍රමයට සේවා සැපයීම වැඩි කිරීම සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු බිම් මට්ටමේ නිලධාරීන් තාක්ෂණිකව සවිබල ගැන්වීම හරහා මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහි ය.
ග්‍රාම නිලධාරීන් ඇතුළු බිම්මට්ටමේ සිටින නිලධාරීන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බව සාකච්ඡා වූ අතර විශේෂයෙන්ම, ඔවුන්ට ටැබ් (Tab) යන්ත්‍ර ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී යෝජනා විය. 14,000 කට අධික පිරිසකට සියලු ම ග්‍රාම නිලධාරීන්ට එකවර පහසුකම් ලබා දීමට අපහසු වුව ද, සෑම දිස්ත්‍රික්කයකින් ම තෝරාගත් කණ්ඩායම් සඳහා ලබා දීම ආරම්භ කිරීමටත් එය විශේෂ ව්‍යාපෘතියක් ලෙස 2027 අයවැයට ද ඇතුළත් කර, ඩිජිටල් අමාත්‍යංශය සමඟ සම්බන්ධ වී වසර තුනක් ඇතුළත අවසන් කිරීමටත් හැකි බව අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කළේ ය.
රජයට අවශ්‍ය විශ්වසනීය බිම් මට්ටමේ දත්ත රැස්කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය ග්‍රාම නිලධාරීන් බැවින්, ඔවුන් ශක්තිමත් කිරීම අමාත්‍යාංශයේ මූලික වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ පිළිබඳව පෙන්වා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසී ය:
"අපට අවසාන වශයෙන් යොමු වෙන්න වෙන්නේ ග්‍රාම නිලධාරීන් වෙතටයි. තවත් විවිධ ආයතනවලින් අපට තොරතුරු ලැබෙන්න පුළුවන්, නමුත් අවශ්‍ය කරන මූලික දත්ත ලබා ගැනීමට අපට ඉතිරි වන්නේ ඔවුන් පමණයි. ඒ නිසා ඔවුන්ව ශක්තිමත් කරන එක තමයි අමාත්‍යාංශයක් හැටියට අපට කරන්න තියෙන හොඳම දේ. ඉතින් අපි ඒ වෙනුවෙන් කටයුතු කරමු. මම හිතන්නේ ඒක තමයි අපට දෙන්න පුළුවන් හොඳ ම දේ. ඩිජිටල් අමාත්‍යාංශයත් සමඟ එකතු වෙලා, පියවර තුනකින් හෝ ඉදිරි වසර තුනක් ඇතුළත මේ ග්‍රාම නිලධාරීවරුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබාදීමට අපට හැකි වුණොත් එය විශාල ජයග්‍රහණයක්."
මෙහිදී රාජ්‍ය ආයතනවල ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් පාරිභෝජනය කිරීමේ සැබෑ අරමුණ පිළිබඳව ද අමාත්‍යවරයා මෙසේ පෙන්වා දෙනු ලැබී ය.
"මෙහි අරමුණ වැඩ නතර කිරීම නෙමෙයි; මූලික වශයෙන් ම බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමයි. හැබැයි ඒ ප්‍රශ්න විසඳන අතර ම, සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ ම අපේ අමාත්‍යාංශයේත් අත්‍යවශ්‍ය වැඩ කටයුතු නතර කරන්න බැහැ. එවැනි අත්‍යවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යාංශ ලේකම්තුමාගේ එකඟතාව සහ අනුමැතිය මත, සේවාවන්ට බාධාවක් කර නොගෙන එම වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතුයි."
මෙවැනි ව්‍යාපෘති සඳහා රජය සතු කැපවීම පැහැදිලි කරමින් අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ වෙන් කරන ලද රුපියල් මිලියන 125 ක ප්‍රතිපාදනවලට අමතරව, මෙම වසරේදී තවත් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බවයි. මෙම ප්‍රතිපාදන මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ජාලකරණ පද්ධති (Networks) සහ අවශ්‍ය උපකරණ සපයා දීමට නියමිත ය. මීට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට මිලියන 162 ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර, දැනටමත් ලැප්ටොප් පරිගණක 251 ක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද ආලෝකබණ්ඩාර මහතා පැවසී ය.
පවතින තත්ත්වය හමුවේ හැකි සෑම ආයතනයක්ම මාර්ගගත (Online) ක්‍රමයට සේවා සැපයිය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන එම සේවාවන් මාර්ගගත (Online) ක්‍රමයට ම පවත්වාගෙන යාම වඩාත් සුදුසු බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙය ප්‍රධාන වශයෙන්ම ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇති අතර, එහි අරමුණ වැඩ නතර කිරීම නොව සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම බව අමත්‍යවරයා අවධාරණය කරන ලදී.
වත්මන් රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ එහි ඉදිරි දැක්ම අනුව මහජන සේවාවන් සම්බන්ධීකරණය කිරීම සඳහා "Citizen Case System" වැනි නවීන පද්ධති සහ ජංගම යෙදුම් (Mobile Apps) හඳුන්වා දීමට ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වන බවද මෙහිදී අනාවරණය විය.
මෙම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය ඉදිරි වසර 03 ක් වැනි කාලයක් තුළ අදියර වශයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා USAID වැනි ජාත්‍යන්තර ආයතනවල සහ ජනාධිපති අරමුදලේ සහයෝගය ද ලබාගැනීමට අපේක්ෂිත ය. තාක්ෂණය භාවිත කිරීම මගින් රාජ්‍ය නිලධාරීන්ට තම වගකීම් වඩාත් පහසුවෙන් ඉටු කිරීමටත්, බලශක්ති භාවිතය අවම කරමින් රජයේ පිරිවැය පාලනය කිරීමටත් හැකිවනු ඇතැයි මෙම රැස්වීමේදී වැඩිදුරටත් විශ්වාසය පළ කෙරිණි.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක අශෝක පීරිස් මහතා සහ අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන යන ප්‍රධාන අංශ තුනෙහි අතිරේක ලේකම්වරුන්, අධ්යක්ෂ ජනරාල්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.