Friday, April 03, 2026
Follow Us
පානීය ජල නිෂ්පාදනය හා බෙදාහැරීම නිරීක්ෂණයට විශේෂ මෙහෙයුම් කමිටුවක්

පානීය ජල නිෂ්පාදනය හා බෙදාහැරීම නිරීක්ෂණය කිරීමේත්, පාලනය කිරීමේත් අරමුණෙන් විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍රවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් අඩු වීම හේතුවෙන් සීමා වෙමින් පවතින නිෂ්පාදන ධාරිතාව ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම මෙහෙයුම් කමිටුව පත්කර ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරිවරයා විසිනි.

මෙම මෙහෙයුම් කමිටුවෙන් ජල මූලාශ්‍රවල පවතින ගැටලු, ජල නිෂ්පාදන ධාරිතා සහ සැපයුම් රටා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගත් කාලරාමු තුළ, දිනපතා, සතිපතා තත්ත්වය සමාලෝචනය කිරීමට නියමිතය.

ඒ අනුව පවතින තත්ත්ව පිළිබඳව කළමනාකරණ වාර්තා ඉදිරිපත් කිරීමට මෙන්ම අදාළ අංශ අතර සම්බන්ධීකරණය සාර්ථක ලෙස සිදු කරමින් ප්‍රමාණවත් ජල සැපයුමක් සුරක්ෂිත කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වේ.

ඉදිරියේදී දෛනිකව දිගු කාල සඳහා ජල සැපයුම් අත්හිටුවීම වළක්වා ගැනීමට මෙන්ම සියලුම පාරිභෝගිකයන් දෛනිකව අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන පරිදි ජලය බෙදාහැරීම, පාලනය කිරීම සහ කළමනාකරණය කිරීමට පියවර ගනු ලබයි. සිඳී යන ජල මූලාශ්‍ර යථා තත්ත්වයට පත්වන තුරු මෙම කමිටුව ක්‍රියාත්මක වන බවද මණ්ඩලය සඳහන් කරයි.