Tuesday, November 26, 2024
Follow Us
පළාත් කිහිපයකට තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. උතුරු මැද පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටී.