Thursday, July 03, 2025
Follow Us
ආනයන සීමා කළේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න - බන්දුල

කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරන ලද්දේ ඉදිරියේ මුහුණ දීමට සිදුවන ආර්ථික පසුබෑමට මුහුණ දීමට බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

ඒ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම රජයේ ප්‍රතිපත්තියක් ලෙසම සමහර භාණ්ඩ ආනයනය තහනම් කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

"ප්‍රතිපත්තියක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ වහාම මේ රටේ කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා සමහර භාණ්ඩ ආනයනය කිරීම තහනම් කළා. උදාහරණ විදිහට ගම්මිරිස්, උදු, කහ ඒ වගේම හඳුන්කූරු,සරුංගල් වගේ දේවල් පවා ඇතුළත් වුණා. ඒ දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම මූලික ප්‍රතිපත්තිය නිසා. කොරෝනා වෛරසය හේතුවෙන් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ඇති වුන දරුණුතම ආර්ථික පසුබෑම ලෝක ආර්ථිකයේ ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ආනයනය අපනයන ක්‍රියාවලියට ලෝකයේ රටවල්වලට විශාල බාධාවන් නිර්මාණය වෙලා තිබෙනවා.

ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයක් සිය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කළාට පස්සේ එවැනි රටක් සමඟ සිදුවන ආනයනය ක්‍රියාවලිය නතර වන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

මේ අතර විදේශ විනිමය උපයා ගැනීම සඳහා වැඩි වැඩියෙන් අපනයන වැඩිකිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

"ශ්‍රී ලංකා මහ බැංකුව මේ වෙද්දී ප්‍රකාශ කරලා තියෙනවා විදෙශියන්හි රදවා තිබෙන මුදල්, විදේශ තැන්පත් මේ අවස්ථාවේ මාතෘ භුමියට රැගෙන එන්න කියලා. විනිමය පාලන නීති ලිහිල් කරලා දිරිගැන්වීම් කරලා තිබෙනවා. මෝටර් වාහන, අත්‍යවශ්‍ය නොවන වෙනත් උපකරණ ආනයනය තහනම් කරලා තියෙනවා. කිසිවිටෙකත් ආහාර හා දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදවුම්,පොහොර,රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල් ආදිය ගෙන්වීම නතර කරලා නැහැ.

ඒ අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය කිරීම තහනම් කර තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් වෙළෙඳ පොළ තුළ හරි හැටි අවබෝධයක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ. .

"මෙවැනි අර්බුදයක ශ්‍රී ලංකාවට කියා වෙනම විසඳුමක් නැහැ."

ජාත්‍යන්තරයේ සිදුවන දෑ පිළිබඳව ආර්ථික විශේෂඥයන් හා තාක්ෂණික විශේෂඥයින් දීර්ඝ සාකච්ජාවකින් පසුව විසඳුම් සොයා ගැනීමට සිදුවන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

(LNW)