Sunday, December 22, 2024
Follow Us
මෙවර කැබිනට් රැස්වීම ගැන ඇමතිවරුන්ට දැනුම්දීමක්

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙම සතියේ සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව හෙට (18) දිනයේ දී කැබිනට් මණ්ඩලය රැස්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ හෙට දිනයේ කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස නිල දැනුම්දීමක් මේ වනවිටත් අමාත්‍යවරුන්ට ලැබී ඇති බවයි.

සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩලය රැස් වන්නේ සෑම අඟහරුවාදා දිනකයි. එහෙත් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුයේ නැහැ. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊට සහභාගී නොවීම හේතුවෙන්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් ඊට හේතු වන්නට ඇති බවටයි ප‍්‍රකාශ කෙරුණේ. ඉකුත් 07වැනිදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී, අදාළ කාරක සභාව ජාතික බුද්ධි සේවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.

ඉදිරියේදීත් එහි කටයුතු එලෙසම සිදු වන්නේ නම් තමන් කැබිනට් රැස්වීමට සහභාගී නොවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බවටත් වාර්තා පළ වුණා. එවන් පසුබිමකයි ඉකුත් 11වැනි අඟහරුවාදා පැවැත්වීමට තිබූ කැබිනට් මණ්ඩල රැස්වීම අවලංගු වුණේ.

මෙවන් තත්වයක් මතුවී තිබියදී ද ඉකුත් සතියේත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වුණා. ඒ සඳහා කැඳවූ අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරිගෙන් සාක්ෂි විමසූ ආකාරය සම්බන්ධයෙන් පසුව පාර්ශ්ව රැසකින් එල්ල වූයේ දැඩි විරෝධයක්.

(Neth)