Tuesday, July 01, 2025
Follow Us
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන වෙත උපදෙස් - චක්‍ර ලේඛයක්ද නිකුත් කරයි

කුමන තත්ත්වයක් යටතේ වුවද අත්‍යාවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යා යුතු බැවින් විශේෂිත නිවාඩුවක් ප්‍රකාශයට පත් වුවද ආහාර,ඖෂධ,ජලය,විදුලිය,සෞඛ්‍ය සේවා හා ජාත්‍යන්තර බැංකු සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් නිසිපරිදි අඛණ්ඩව පවත්වා ගෙන යාමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ මඟින් සියලුම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (15) දින රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහාතා චක්‍ර ලේඛයක් නිකුත් කරමින් එම අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

මෙවැනි ජාතික උවදුරකදී අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පිළිගත් මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙසද අමාත්‍යාංශය ඉල්ලිමක් කරයි.

අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,සංස්ථා හා මණ්ඩල වල කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා එම තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දෙන ලෙසද එම චක්‍ර ලේඛයෙන් දන්වා තිබේ.

ඒ අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක්ද සියලුම රාජ්‍ය ආයතන වෙත ලබා දීමට විෂය භාර අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනට ස්ථාපිත කර තිබෙන ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ප්‍රාදේශීය ඩෙංගු මර්දන කමිටුව මඟින් කොරෝනා රෝග තත්ත්ව පිළිබඳව හා කොරෝනා රෝග මර්දනය පිළිබඳ දැනුවත් කිරීම හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක අංශවල සහය ලබා ගෙන සිදුකිරීම,

ග්‍රාමීය මට්ටමින් කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිත අය වේ නම් එම පුද්ගලයන් ආරක්ෂක අංශවල සහය ඇතුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම,

විදේශගතව සිට පැමිණෙන නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයන් හා නිවෙස් තුළම ස්වයං නිරෝධායන කටයුතු වල නිරත අය සඳහා අවශ්‍ය විශේෂ නිවාඩු ලබා දීම,

රාජ්‍ය ආයතන සඳහා පැමිණෙන මහජනතාව සීමා කර ගැනීම. විශේෂයෙන් බදාදා වැනි මහජන දිනයන් හි ජනතාව කාර්යාලවලට පැමිණීම සීමා කිරීම. එම අවශ්‍යතාවන් දුරකථන, ඊමේල් හරහා ඉටුකරදීම,

සියලුම රාජ්‍ය ආයතනවලට පැමිණෙන නිලධාරීන් හා මහජනතාව විෂබීජවලින් ආරක්ෂා කරගැනීමට විෂබීජානුහරණ අත් සේදීමේ දියර හා අත් ආලේපන දියර ලබා දීමට කටයුතු කිරීම,

පුහුණු වැඩසටහන්,රැස්වීම් තාවකාලිකව අත්හිටුවීම,

කොරෝනා රෝග තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් රජයේ කාර්යාල කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි අතර එහිදී මාණ්ඩලික නිලධාරීන් හා අත්‍යාවශ්‍ය සහයක නිලධාරින් පමණක් කාර්යාල වෙත ගෙන්වා ගැනීමට සිදුවීම,

කොරෝනා රෝග තත්ත්වය පිළිබඳව කාලීන තොරතුරු අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් ලබාගැනීම,

මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දී ඇති උපදෙස් මාලාව ඔබගේ වෙබ් අඩවියට ඇතුළත් කිරීම හෝ එම වෙබ් අඩවියට ළඟා විය හැකි දිගුවක් ලබා දීමට කටයුතු කිරීම යන උපදෙස් මාලාව ලබා දී තිබේ.

(LNW)