Tuesday, July 01, 2025
Follow Us
පූජිත්ගේ ධුර කාලය අවසන් නව පොලිස්පති නම් කිරීමේ බලය ජනපතිට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ධුර කාලය පෙරේදා (14 වැනිදා) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත.

පොලිස්පතිවරයාගේ සේවය අවසන් වීමේ දිනය මාර්තු 16 වුවද එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම හේතුවෙන් මෙලෙස මාර්තු 14 දිනයෙන් අදාළ සේවා කාලය අවසන් කෙරී ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පොලිස්පති ධුරය සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නම් කිරීමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සං‍ශෝධනයට අනුව හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් නම්කරනු ලබන සුදුසු නිලධාරීන් අතුරින් එක් පුද්ගලයකු නව පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීමට නියමිතය.

මේ වනවිට නව පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සැපිරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු සිටින අතර ඔවුන් අතුරින් වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන්නේ දැනට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ. අබේසිරි ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන තිදෙනාය.

පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එළැඹෙන අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයෙන් අනතුරුව එය අහෝසි වේ. මැතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කළ යුතුව ඇත. ජනාධිපතිවරණයට අවශ්‍ය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කෙරෙන තුරු නව පොලිස්පති ධුරය සඳහා නිලධාරියකු පත් කිරීමේ බලය ඇත.

ධුර කාලය අවසන් වූ පූජිත් ජයසුන්දර පූර්ණ විශ්‍රාම වැටුපකට සහ තීරුබදු රහිත වාහන බලපත්‍රයකටද හිමිකම් ලබයි.

නව පොලිස්පතිවරයා පත් කරනතුරු දැනට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම ධුරයේ තවදුටත් කටයුතු කිරීමට නියමිතය.

(Aruna)