Friday, September 20, 2024
Follow Us
බිය නොමැතිව පොසොන් සමරන්නැයි රජයෙන් ඉල්ලීමක්

එළඹෙන පොසොන් පොහොය බියෙන් හෝ සැකෙන් තොරව ශ‍්‍රද්ධාවෙන් සමරන්නැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සියලූ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. වන්දනා ගමන් සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ද අවහිරයක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ගෙවුනු වෙසක් පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට සැමරීමට සිදුවූයේ ආරක්ෂාව පිළිබඳ සැකසංකා ද පවතිද්දීයි. එහෙත්, මේවනවිට රටපුරා ආරක්ෂාව තහවුරු කර ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික වුණා.

ග‍්‍රාමීය විහාරස්ථාවල ද ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා පුරුදු පරිදි සංවිධාන කරන ලෙසයි මෙහිදී යෝජනා කෙරුණේ. ශ‍්‍රී ලංකාව දැහැමි රාජ්‍යයක් බව ලෝකයට කියා පෑමට ද මෙවර පොසොන් පොහොය අවස්ථාවක් කර ගන්නා ලෙස ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ඉල්ලා සිටියා.

මේ අතර ඉකුත් 12වනදා සිට ලබන 18වනදා දක්වා කාලය පොසොන් සතිය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර පොසොන් සතියේ තේමාව වී ඇත්තේ ‘‘සියලූ සත්ත්වයෝ දඬුවමට බිය වෙති’’ යන්නයි.

(Neth)