Friday, July 04, 2025
Follow Us
තව සතියකින් විසුරුවයි, මහ මැතිවරණය අප්‍රේල් 22 - මැයි 04 අතර !

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව ඉදිරි සතියක කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ වුවහොත් අප්‍රේල් 22 - මැයි 04 අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 52 ත් 66 ත් අතර දිනයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු පවසන්නේ.

උත්සව සමය එළඹීමත් සමග මැතිවරණ කොමිසම බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි මහින්ද දේශප්‍රිය මහතා අද මැතිවරණ කොමිසමේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

අප්‍රේල් මස 07 වැනිදා සිට නිවාඩු බහුල කාලයක් ගතවන බැවින් ඇතැම් නිළධාරීන් 07 වැනිදා සිට 15 වැනිදා දක්වා නිවාඩු ලබා ගැනීමට ඉඩ තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මහ මැතිවරණය හේතුවෙන් සිංහල අවුරුද්දට හෝ මැතිවරණ කොමිසමේ ඇතැම් නිළධාරීන්ට නිවාඩු ගැනීමට නොහැකි වනු ඇති බව ද ඔහු පවසනවා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී සිදුකළ බොහෝ වියදම් තවමත් පියවීමට නොහැකි වීම නිසා මැතිවරණ කොමිසම තවත් අර්බුදයකට මුහුණ දී සිටින බව ද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගරයෙන් තවමත් ලැබී නොමැති බවයි ඔහු පවසන්නේ.

(LNW)