Friday, July 04, 2025
Follow Us
ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ උපදෙස් දුන්නේය.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

අපනයන සමාගම් මිලදී ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ.

තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඔවුහු පෙන්වා දුන්හ.

කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිතුමා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය.

බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිතුමා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

(Aruna)