Monday, September 14, 2026
Follow Us
රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප‍්‍රධානියා පත් කරයි

රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්. නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් එම තනතුර පුරප්පාඩු වුණා.

නව තනතුරට පත් කෙරුණු මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙස කටයුතු කළා. එම තනතුර සඳහා මේජර් ජෙනරාල් ප‍්‍රභාත් දෙමටම්පිටිය අලුතින් පත්කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉකුත් 8 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, සෞඛ්‍ය හේතුන් මතයි.

නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ද ලබා දුන්නා.

මේ අතර නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ, එම ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් ජනක වල්ගමගේ සේවා කාලය අවසන්වීමත් සමගයි.

(Neth)