Friday, July 04, 2025
Follow Us
මහ ඡන්දේ වියදම කෝටි 750 දක්වා ඉහළට

මහමැතිවරණය සඳහා රුපියල් ​කෝටි 750ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයට මෙම සතියේදී දැනුම් දීමට තීරණය කර ඇත.

මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 550ක මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ඉහළ යාම නිසා ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන වැඩි කිරීමටද සිදුවන බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ අසූ දහසක් කටයුතු කර ඇත. නමුත් මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් ලක්ෂ තුනකට අධික පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. කා​ඩ් බෝඩ් ඡන්ද පෙට්ටි යළි සකස් කිරීමටද තීරණය කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා වැය වූ රුපියල් මිලියන 1200ක මුදලක්ද මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නැත. එම මුදලද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර 2019 ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීම මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට අවසන් කර ඇත. මහ මැතිවරණයේදී මෙම නාමලේඛනය යොදා ගැනීමට නියමිතය. 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසදීමේදී නව ඡන්ද දායකයන් දෙලක්ෂ 70,000ක් පමණ අලුතින් එක්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


(Lanka Leads)