Friday, July 04, 2025
Follow Us
සයින්දමරුදු ගැසට් එක කියවන්නේ නැතිව ඇමති අත්සන් කරලා. අපි දන්නෙ නෑ - බන්ධුල

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති බවත් පසුගිය යහපාලන රජය විසින් ගත් කැබිනට් තීන්දුවක් අනුව සකස් කෙරුණු ගැසට් නිවේදනයට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නොදැනුවත්ව අත්සන් තබා ඇති බවත් කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"මේක නිකුත් කෙරුණේ කැබිනට් එකඟතාවක් ඇතුව නෙවෙයි. මොකද හේතුව 2018 වර්ෂයේදී ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා කැබිනට් තීරණයක් අරන් තියෙනවා සයින්දමරුදු ප්‍රදේශයේ වෙනම නගර සභාවක් පත් කරන්න. කැබිනට් තීරණයක් ගත්තාම නිලධාරීන් විසින් කැබිනට් තීරණයට අනුව කටයුතු කරන් ගිහිල්ලා ගැසට් නිවේදන ගෙනල්ලා දෙනවා ඇමතිවරයාට අත්සන් කරන්න.

කියවලාත් අත්සන් කරනවා, කියවලා නැතුවත් අත්සන් කරනවා. මොකද සියලුම ලිපිගොනු ඇමතිවරයාට සම්පූර්ණයෙන් කියවලා අත්සන් කරන්න බෑ. ඉතිං එතකොට ඒ අනුව ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙනවා.

ඊට පස්සෙ කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා තියෙන්නෙ. එතකොට කැබිනට් මණ්ඩලය කිව්වෙ එක ප්‍රදේශයකට පමණක් කිරීම සාධාරණ නෑ කියලා. තාවකාලිකව අත්හිටුවලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)