Friday, July 04, 2025
Follow Us
අපි නිදහස දීපු එක රජයේ දුර්වලතාවක් කියලා හිතන්න එපා - ජනපති අධිකරණයට කියයි !

අධිකරණයේ ස්වාධීනත්වය නිසි අයුරින් ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා කෙරෙහි තමන් දැඩි විශ්වාසයක් රඳවාගෙන සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේම ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබාදී තිබීම රජයේ දුර්වලතාවක් වශයෙන් නොසිතිය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

"මම පොරොන්දු වුණා අපි නීතියට ඇඟිලි ගහන් නැතිව, ස්වාධිනව කටයුතු කරන්න ඔවුන්ට අවස්ථාවක් ලබාදෙනවා කියලා. අපි අගමැතිතුමාගෙ කාර්යාලයට ගෙනල්ලා, නීතිපතිවරු, නිලධාරීන්ව, සීඅයිඩී එකේ එෆ්සීඅයිඩී එකෙ නිලධාරීන්ව, අපිත් එක්ක ඉන්න පක්ෂවල නායකයින්ව ගෙනල්ලා මොන නඩුද කරන්නෙ කියලා තීරණයක් ගන්නෙ නැහැ.

මම බලාපොරොත්තු වෙනවා ඒ අධිකරණයේ ස්වාධීනත්වය නිසි අයුරු පාවිච්චි කරයි කියලා. අපි අගවිනිසුරුතුමා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා එතුමා අධිකරණයේ ස්වාධීනත්වයත් නිසි අයුරු ජනතාවගේ යහපත සඳහා සාධාරණව පාවිච්චි කරයි කියලා.

අපි නිදහස දීලා තිබීම රජයක දුර්වලතාවයක් හැටියට පාවිච්චි කරන්න එපා කියන එකත් මම මතක් කරන්නට වෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) ගලහ ප්‍රදේශයේ පැවති, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික මහෝත්වය අමතමිනි.

(LNW)