ජනතාව වෙනුවෙන් විධායකය ගෙනයන ක්‍රියාමාර්ගවලට අධිකරණය බාධා නොකර සිටීම ඉතාම වැදගත් බව විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (14) මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පමාවීම යනු යුක්තිය ප්‍රතික්ෂේප වීමක් ලෙස සැලකෙන හෙයින් රටේ ජනතාවට තමන්ගේ නීති ප්‍රශ්න කඩිනමින්, පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීම සඳහා අවස්ථාව ලැබිය යුතු බවයි.
ඒ සඳහා අධිකරණය, රජය සහ නීතී ක්ෂේත්‍රය එක්ව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වඩා යහපත් තත්වයකට ගෙන ඒම සඳහා පූර්ණ විසඳුමක් ඉදිරිපත් කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බල කුළුණු තුනේ බලය පැහැදිලිව වෙන්වී තිබීම ඉතාම වැදගත් බවත් එසේ නොවුණහොත් ප්‍රජාතන්ත්‍රවාදයට සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකි බවත් පැවසූ ඒ මහතා විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වන්නා සේම ව්‍යවස්ථාදායකයට සහ විධායකයට අධිකරණය විසින් බලපෑම් නොකිරීම ද වැදගත් බවත් ප්‍රකාශ කළේය.
විධායකය සහ ව්‍යවස්ථාදායකය ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් හරහා පත්කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විශේෂයෙන් විධායකයට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ජන වරමක් ඇති බවත්, විධායකයේ අරමුණු සඳහා ගමන් කිරීමට ජනතාව ජනවරමක් ලබාදී ඇති බවත් සඳහන් කළේය.
ඒ අනුව විධායකය විසින් ගෙනයන සංවර්ධන ක්‍රියාවලියට අධිකරණය බාධා නොකර සිටීම වැදගත් බව අවධාරණය කළ ජනාධිපතිවරයා එය ජනතාවගේ සෞභාග්‍ය උදෙසා ඉතාම වැදගත් වන බවයි යළි අවධාරණය කළේ.
(LNW)