බලය බෙදීම සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවෙල කිසිසේත් නතර කර නොමැති බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනී සුහාසිනි හයිදර් සමග පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබේ.
13 වැනි සංශෝධනය හරහා බලය බෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය, බහුතර ශ්‍රී ලාංකිකයන් නොපිළිගන්නා ඉල්ලීම් ඉල්ලා සිටින බවයි. බලය බෙදීම පිළිබඳ සිදුවන සාකච්ඡා ඇණහිටීමට එයද බලපා ඇති බවයි රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ.
බලය බෙදීමට වඩා සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදිනිය කළ විමසීමට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා තිබෙන්නේ ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවයි. වසර 30 ක් තිස්සේ දුක් විඳි උතුරු නැගෙනහිර ජනතාවට සංවර්ධනය අවශ්‍ය බවත් බලය බෙදීමට පෙර ඒ සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම කිසිදු ගැටලුවක් නොමැති බවත් වර්තමානයේ වුවද යාපනයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වූ විට ජාතික ගීය ගායනා කරන්නේ දෙමළ භාෂාවෙන් බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. කෙසේ වුවද ජාතික උත්සවවලදී ජාතික ගීය එක් භාෂාවකින් පමණක් ගායනා කරන බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවටත් වඩා බාෂා ගණනාවක් භාවිතා කරන ඉන්දියාවේ පවා ජාතික ගීය ගායනා කරන්නේ එක් භාෂාවකින් පමණක් බවයි.
19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා පවසා තිබෙන්නේ මෙම සංශෝධනය නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ බලතල පැහැදිලි නොමැති බවයි. ඒ අනුව 19 වැනි සංශෝධනයෙන් ගැලවීම පළමු කාර්යය බවත් මේ වනවිට ව්‍යවස්ථා විශාරදයන් ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
(LNW)