Thursday, September 19, 2024
Follow Us
ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

තමන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය "අතිශයින් ඵලදායී" බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රකාශ කර සිටියා. ඒ සිය කෙටි සංචාරය නිමා කරමින් ඉන්දීය අගමැතිවරයා ඇතුළු දුත පිරිස අද පස්වරු 4.15 ට පමණ යලි ඉන්දියාව බලා පිටත්ව යාමට පෙරයි.

" අපගේ හදවත්වල ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමිව තිබෙනවා. ඉන්දියාවේ සෑම විටම ඔබ සමඟ සිටිමින් ඔබගේ රටට ප්‍රගතිය අත්කර දීම සඳහා සහාය වනු ඇති බවට මම ශ්‍රී ලංකාවේ සිටින මගේ සහෝදර සහෝදරියන්ට සහතික කර ප්‍රකාශ කර සිටිනවා. ඔබලා විසින් මට ලබා දුන් අමතක නොවන පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට ස්තූතියි" ඉන්දීය අගමැතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.

ඉන්දීය අගමැතිවරයා සිය සංචාරය නිමා කරමින් සිය රට බලා යන අවස්ථාවේදී ඔහුට සුභ පැතීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ සිය තෙවන නිල සංචාරය මෙය වනවා. මිට පෙර 2015 වර්ෂයේ මාර්තු මාසයේදී සහ 2017 වර්ෂයේ මැයි මාසයේදී නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා සිය පළමු ධුර සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවා.

(Neth)