Friday, May 10, 2024
Follow Us
නීති කිහිපයක් සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන් සහ පෞද්ගලික අංශවල සෞඛ්‍ය සේවකයින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙමින් මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් නොලබන, එහෙත් අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදීම හෝ වෙනත් සුදුසු විකල්පයක් කෙරෙහි ද මෙලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මැතිවරණ වියදම් සීමා කිරීමට අදාල සංශෝධන සඳහා නීති කෙටුම්පත් කර අවසන් බව ද මැතිවරණ කොමිසන් සභාව මෙහිදී සඳහන් කළා.

අදාළ සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින්ගේ උනන්දුව වැඩිකිරීමට නව ක්‍රමවේද හඳුන්වා දීමට ජාතික මැතිවරණ කොමිසම ගන්නා උත්සාහය අගය කරන බවයි මැතිවරණ නිරීක්ෂකයින් පැවසුවේ.

(Neth)