Friday, May 10, 2024
Follow Us
ණය වාර්තා පදනම් කරගෙන ණය නොදී ඉන්න එපා : රාජ්‍ය ඇමති බැංකුවලට කියයි

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් සිදුකරනු ලබනවා.

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයෙකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවෙකුගේ ණය තත්ත්වයන් පිලිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.

“ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් විදිහට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා. ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි. එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නෑ. නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුම්වත් විය යුතුයි.

අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වගේම ඒ ඒ ප්‍රදේශවල සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මේ අවස්ථාවට සහභාගී කරවා ගන්න අපේක්ෂා කරන බව” අමාත්‍යවරයා කියා සිටියා.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ණය තොරතුරු කාර්යාංශය සහ සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව යන ආයතනවල ජේෂ්ඨ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියා.

ඒ අනුව තමයි මේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් සහන පැකේජය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. ඒ අනුව එවැනි ණය මුදලක් අරගෙන ගෙවා ගන්න බැරි යම් අපහසුතාවකට පත් වෙලා ඉන්න ව්‍යවසායකයින් සියලුම දෙනා ජනවාරි මාසෙ 31 වැනිදට පෙර තමන් ණය ලබා ගත් බැංකු ශාඛාවට ඒ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කළ යුතුයි එහි ඉදිරි ක්‍රියා මාර්ග සඳහා” අමාත්‍යවරයා කියා සිටියා.

(Neth)