Friday, May 10, 2024
Follow Us
සම්බන්ධන්ට ගරු කරනවා. කිසිදු පහසුකමක් ඉවත් කරන්නේ නෑ - දිනේෂ්ගෙන් ආණ්ඩුවේ ජාතිවාදීන්ට කණේ පහරක්

දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට තමන් ඉහළින්ම ගරු කරන බවත් ඒ මහතා භුක්ති විඳින යම් පහසුකමක් වේ නම් ඒවා ඉවත් කිරීමට රජය කිසිදු විටෙක කටයුතු නොකරනු ඇති බවත් සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ තමන්ට පසුගිය රජයෙන් ලබාදී තිබුණු නිල නිවස සහ වාහනය පිළිබඳ සම්බන්ධන් මහතා කරුණු පැහැදිලි කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමිනි. සම්බන්ධන් මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන්ට රජයෙන් නිල නිවසක් සහ නිල වාහනයක් ලැබුණේ විපක්ෂ නායකයා ලෙස පත් වීමෙන් වසර දෙකකට පසුව බවත් එතෙක් නිවසක් කුලියට ගන්නා මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ ද තමන් ඊට හෝ රජයේ මුදල් වැය නොකළ බවත් තමන්ගේ නිල වාහනය තමන් 2019 ජනවාරි 01 වනදාම එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවත්ය. එනිසා අප්‍රසන්න ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ සම්බන්ධන් මහතා කෙරෙහි ඉහළ ගෞරවයක් රජයට පවතින බවත් ඔහු භුක්ති විඳින කිසිදු පහසුමක් ඉවත් කිරීමට රජය කිසිදු විටෙක කටයුතු නොකරන බවත්ය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ද සම්බන්ධන් මහතාට සහ උතුරේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට කටයුතු කළ බව පැවසූ සභානායකවරයා කිසිදු තීරණයක් සම්බන්ධයෙන් රජය දේශපාලනිකව පක්ෂග්‍රාහී වී නොමැති බවත් එය දිගටම පිළිපදින බවත් සඳහන් කළේය.

එසේම දෙමළ ජාතික සන්ධානයේ නායකයාට දිගින් දිගටම ගරු කරන බව පැවසූ ඒ මහතා රටේ ප්‍රශ්න විසඳීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනය කර ඇති බව ද සඳහන් කළේය.

කෙසේවෙතත් සම්බන්ධන් මහතාට නිල නිවසක් හා නිල වාහනයක් ලබාදීම සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඇතැම් ජාතිවාදී මැති ඇමතිවරුන් පසුගිය සති කිහිපය තුල දැවැන්ත උත්සාහයක් දරණු දක්නට ලැබිණි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රතිචාරය ඔවුන්ට එල්ල කළ කණේ පහරක් ලෙස සැලකිය හැකිය.

(LNW)