Sunday, April 28, 2024
Follow Us
අසභ්‍ය යැයි කී හතේ අපේ පොත ළමුන්ට දෙනවාද නැද්ද - අවසන් තීරණය අද

07 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා පසුගිය රජය මගින් නි‍ර්දේශ කළ, පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට ලක් වූ 'හතේ අපේ පොත' කෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (21) ගැනීමට නියමිතය. අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන කාරක සභා රැස්වීමකදී මෙම කෘතිය පිළිබඳ තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක් ලෙසයි එය පැවැත්වෙන්නේ.

හතේ අපේ පොත පාසල්වලට බෙදාහැරීමට පසුගිය රජය සමයේදී කටයුතු කළ අතර එහෙත් පසුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝගයක් මත එම බෙදාහැරීමේ කටයුතු අත්හිටුවිණි.

මේ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ඇතැම් පාර්ශ්වය අවධාරණය කළේ මෙම පොත කිසිසේත්ම පාසල් ළමුන්ගේ, විශේෂයෙන් 07 ශ්‍රේණියේ ළමුන්‍ගේ මනසට සුදුසු නොවන බවයි. මෙම කෘතිය අසභ්‍ය කෘතියක් ලෙසද ඇතැමුන් හැඳින්වීය.

එසේම විද්වතුන් ඇතුළු තවත් පිරිස් ගණනාවක් පෙන්වා දුන්නේ මෙම කෘතිය ළමා මනසට අතිශය වැදගත් කෘතියක් බවයි. ඒ අනුව මෙම පොත පාසල් ළමුන්ට ලබාදීම අනිවාර්යෙන් සිදුකළ යුත්තක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම කරුණු සියල්ල මේ වනවිට අදාල ආංශික අධීක්ෂණ කාරක සභා මගින් සැලකිල්ලට ගෙන ඇති අතර ඒ අනුව හතේ අපේ පොත පාසල් ළමුන්ට නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද ගැනීමට නියමිතය.

(LNW)