Friday, July 04, 2025
Follow Us
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින ආකර්යක්ෂමතාවය, ප්‍රමාදය සහ දුෂණය පිටුදැකීමේ අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

සේවාලාභියා, සේවා සපයන්නා ලඟට යනවා වෙනුවට අනතර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතියන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන්නැයි ජනාධිපතිවරයා අද (17) දහවල් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තාක්ෂණ බලධාරීන් සමග පැවති සාකච්ජාවකදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

සියලු රාජ්‍ය ආයතන සතු දත්ත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ පුර්ණ මැදිහත්වීමෙන් එක් රැස් කෙරෙනු ඇත. ජනතාවට වඩාත් සමීප සියලුම රාජ්‍ය ආයතනවලට ප්‍රමුඛතාව දෙමින් ජාලගත කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට මෙහි අරමුණ වේ.

නව ක්‍රමවේදය මගින් තාක්ෂණය සහ අනතර්ජාලය භාවිතයෙන් හැඳුනුම්පත්, රියදුරු සහ ගුවන් ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලියාපදිංචි කිරීම සහ ඉඩම් ඔප්පු ඇතුළු කේෂ්ත්‍ර රැසක සේවා කඩිනමින් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දෙන ලදියි. බදු අය කිරීමේ සිට විශ්‍රාම වැටුප දක්වා වූ කේෂ්ත්‍ර රැසක ක්‍රියාකාරකම් ස්වයංක්‍රිය කිරීමෙන් (Automation) ඉටු කර ගැනීමට අවකාශය සැලසීම මෙහි මූලික අපේක්ෂාවයි.

දත්ත එක් රැස්ව තිබීමෙන් රටකට බලපාන ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ දි නිවැරදි විශ්ලේෂණයක් කළ හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. සාමාන්‍ය ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රමාදය සම්පූර්ණයෙන් වළකා ගැනීමට ද මින් හැකි වේ.

අංක 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙළ යළි සක්‍රිය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුවී ඇත.

රටේ වේගවත් අභිවෘද්ධියක් වෙනුවෙන් ආයතන රැසක ප්‍රධානින් ලෙස විෂයානුබද්ධ විද්වතුන් පත් කර ඇති බවත් ඔවුන් බොහෝ දෙනෙක් වැටුප් රහිතව රට වෙනුවෙන් සේවයට කැපවී සිටින බැවින් ඔවුනට රාජ්‍ය නිලධාරීන් උපරිම සහාය දිය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියාය.

කඩිනමින් පණ ගැන්විය යුතු ආයතන රැසකට ප්‍රධානින් පත් කිරීමේ දී අදාළ කේෂ්ත්‍රයේ දක්ෂතා ඇති අය පිළිබඳ තොරතුරු ගොනුවක් නොතිබීම බාධාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතා අවධාරණය කෙරුණා. වහාම අදාළ පිරිස් හඳුනාගෙන සංචිතය සඳහා නිර්දේශ යොමු කරන ලෙස ද සියලුම අමාත්‍යාංශය ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබුවා.

තොරතුරු තාක්ෂණය සහ සිය කේෂ්ත්‍රයන්ට අදාළව දේශීය සහ විදේශිය පුහුණුවීම් ලබාදීමට පියවර ගැනීමෙන් දක්ෂ රාජ්‍ය සේවකයෙක් සහ යහපත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ඒකාබද්ධ සේවයේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයන්ට ද විවිධ රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරුවීම් සඳහා පොදු ප්‍රතිපත්තියක් සකස් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය. එමගින් කේෂ්ත්‍ර රැසක අත්දැකීම් සහිත පරිපූර්ණ රාජ්‍ය සේවකයෙක් බිහි කළ හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

(Neth)