Friday, July 04, 2025
Follow Us
තෛපොංගල් දවසේ අරහෙම කීවේ තොණ්ඩමන් ඉල්ලූ නිසා. මාර්තු 01ට තව කල් තියෙනවා - බන්ධුල

මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිවේදනය කළේ ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ඒ සඳහා නිශ්චිත දිනයක් පවසන්නැයි කළ ඉල්ලීම අනුව බවත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

තවමත් ජනවාරි මාසය බැවින් මාර්තු 01 වනදා වීමට තව ඕනෑ තරම් කාලය පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.

"නෑ, ඒගොල්ලො එහෙම ප්‍රකාශ නිකුත් කළාම එහෙම කරගන්න බැරි ඒවා සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකද්ද කියන එක ආණ්ඩුව තීරණය කරයි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව !

දැන් ආධාරයක් ... කාටහරි සහනාධාරයක් ගෙවන්න අවශ්‍ය නම් ඒ සඳහා රජය මාර්තු මාසෙ පළවෙනිදාටනෙ තියෙන්නෙ. මේ ජනවාරි මාසෙ ඉන්නෙ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරනවා.

තෛපොංගල් දිනයේදි තොණ්ඩමන් අමාත්‍යතුමාගෙ ඉල්ලීම වුණේ මේ දීර්ඝ කාලයක් වතු කම්කරුවන්ගේ ඉල්ලීම සඳහා එය ලබාදෙන නිශ්චිත දිනයක් සඳහන් කරන ලෙස. ඒ පණිවිඩය ලබලා දීලා තියෙනවා. ඒ අනුව ඒක ක්‍රියාත්මක කරයි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (16) දිනයේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසූ අවස්ථාවේදීය.

කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන ආකාරය ද දක්නට ලැබිණි.

පෙරේදා (15) දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සිංහල භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ තේ කර්මාන්තය සඳහා රජය විසින් සහන පැකේජයක් ලබාදී ඇතිවා මෙන්ම පොදුවේ බදු සහනය ද ඔවුන්ට ලැබී ඇති බැවින් වතු සමාගම් මඟින් මෙම වැටුප් වැඩිකිරීම සිදු කළ යුතු බවය.

එහෙත් එදිනම විදුලිබල මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරු වැටුප් වැඩිකිරීමට වතු සමාගම්වලට අපහසු විය හැකි නිසා රජය විසින් තේ මණ්ඩලය හරහා සමාගම්වලට මුදල් ලබාදීමටත් සාමුහික ගිවිසුමක් අත්සන් තැබීමටත් තීරණය කර ඇති බවකි.

(LNW)