ක්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග, අසාධාරණකම් හා අක්‍රමිකතාවයන් නොබියව අනාවරණ කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙරට සියලු ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, ඉකුත්දා නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ඊට සහභාගී වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් හමු වූ අවස්ථාවේදීයි.
එහිදී මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් තමන්ට මුහුණ පෑමට සිදු වූ සියලු අසීරුතාවන් පිළිබඳ මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ අනාවරණයක් ද සිදු කර තිබෙනවා. ක්‍රීඩා උපකරණ, ක්‍රීඩා ඇඳුම් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සඳහා මුදල් වෙන් කර තිබූ නමුත් තමන්ට එහි ප්‍රතිලාභ නිසියාකාරව නොලැබුණු බවයි එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හමුවේ සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී තමන්ට ක්‍රීඩා බලධාරීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් නොලැබුණු බව ද එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් මෙහිදී සඳහන් කර තිබෙනවා. පහසුකම් නිසියාකාරව ලබා දීම වෙනුවට ක්‍රීඩා බලධාරීන් විසින් විශාල මූල්‍ය අක්‍රමිකතා සිදු කර ඇති බවයි එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ. මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ මෙවැනි තත්වයන් යළි සිදු වීමට තමන් ඉඩ නොතබන බවයි.
මෙරට රාජ්‍ය නායකයෙකු ක්‍රීඩා ආර්ථිකයක් පිළිබඳ කථාබහ කිරීමේ තත්වයට පත්ව සිටීම මෙරට ක්‍රීඩාවට යහපත් අනාගතයක් ලබා දීමේ සුබ ලකුණක් බවයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී සඳහන් කළේ.
මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඇගයීමේ ජාතික උත්සවය ලබන 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
(Neth)