Friday, July 04, 2025
Follow Us
2015 පරාජය සිහිතබාගෙන වැඩකරන්න - ජනපතිගෙන් උපදෙස්

2015 වසර වන විට රට විශාල සංවර්ධන මාවතකට යොමුකර තිබියදීත් පරාජයට පත් වීමට බලපෑ හේතු සිහිතබාගෙන කටයුතු නොකළොත් මෙවර ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහ නගරසභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සමඟ ඊයේ (28) කොළඹදී පැවති හමුවේදීය.

"2015 පරාජයට පත්වෙද්දී මේ රට යම්කිසි මාර්ගයකට යොමුකරලා තිබුණා. විශාල සංවර්ධන මාවතකට යොමුකරලා තිබුණා. ආර්ථිකය ශක්තිමත් තැනක තිබුණා. නමුත් අවාසනාවකට වගේ එදා ගෙන ගිය වැරදි ප්‍රචාර නිසා අපි පරාජයට පත්වෙලා පසුගිය වසර පහ තුළ විශාල පසුබෑමකට ලක්වුණා. ආර්ථිකයේ සංවර්ධනයේ විශාල පසුබෑමකට ලක්වුණා. අපි එයින් පාඩමක් ඉගෙනගන්න ඕනේ. සියලුම දේවල් තිබුණත් ජනතාව එදා අපිව ප්‍රතික්ෂේප කරන්නට යෙදුණු කරණු මොනවද කියන එක හොඳට අවබෝධ කරගෙන ඉදිරියට වැඩකටයුතු නොකළොත් ලබපු ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ගැන අවධානයට යොමුකරන්න ඕනේ."

එමෙන්ම යළි ආර්ථිකය ගොඩ ගැනීමේ විශාල අභියෝගයක් පවතින බව ජනාධිපතිවරයා කියාසිටියේය. මෙම මස තුළ අයවැයක් සම්මත කරගෙන නොමැති අතර එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා රජය කුණු ඉවත් කිරීමේ සිට ආර්ථිකයේ ඉහළම තැන දක්වා වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව බලාසිටින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

(LNW)