විදෙස් රටවලින් ලැබෙන මිස් කෝල් හෙවත් මග හැරුණු ඇමතුම් සඳහා යළි ඇමතුම් ලබාගැනීමෙන් හෝ කෙටි පණිවිඩ යැවීමෙන් වළකින්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, පාරිභෝගික හා මහජන දැනුවත් කිරීම්, මේනකා පතිරණ පැවසුවේ විදෙස් රටවල සිට මිස්කෝල් හෙවත් මගහැරුණු ඇමතුම් ලබාදී සිදුකෙරෙන ජාවාරමක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව එවැනි මගහැරුණු ඇමතුමක් විදෙස් රටකින් ලැබුනහොත් ඒ පිළිබඳ අදාළ දුරකතන සේවා ආයතනය දැනුවත් කරන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
සැකසහිත මිස්කෝල් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ටැන්සානියාව, මැඩගස්කර්, සෝමාලියාව සහ මොරොක්කෝව වැනි රටවල්වලින් බව ද හෙළිවී තිබෙනවා. එකතු කිරීමේ ලකුණ සහිතව 216, 235, 252 සහ 261 යන කේත අංකවලින් මෙම මිස්කෝල් ලැබී ඇති බවයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.
මේ අතර ට්විටර් ඇන්ඩ්‍රොයිඞ් යෙදවුමේ පවතින තවත් දුර්වලතාවක් ට්විටර් සමාගම විසින් හඳුනාගෙන තිබෙනවා. මෙම දුර්වලතාව නිසා හැකර්වරුන්ට කිසියම් ට්විටර් ගිණුමකට ඇතුළුවී එය පාලනය කිරීමට සහ එහි හිමිකරුවාගේ දත්ත සොරා ගැනීමට හැකිවන බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.
කෙසේවෙතත් මෙම දෝෂය නිවැරදි කර සකස් කෙරුණු ට්විටර්, ඇන්ඩ්‍රොයිඞ් නව සංස්කරණය මේවනවිට එළිදක්වා තිබෙනවා. ඒ අනුව දැනට භාවිත කරන ට්විටර් ඇන්ඩ්‍රොයිඞ් යෙදවුම ඉතා ඉක්මනින් යාවත්කාලීන කර ගන්නා ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලු ට්විටර් සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. එමගින් ඇතිවිය හැකි අපහසුතා වළක්වාගත හැකි බව ද ඔවුන් පැවසුවා.
(Neth)