Thursday, July 03, 2025
Follow Us
ලේකම්වරුන්ට දුන් පනස් දහසේ දීමනාව විශ්‍රාම වැටුපට එකතු කරලා

පසුගිය රජය සමයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මාසිකව ලබා දුන් රුපියල් පනස් දහසක දීමනාව විශ්‍රාම වැටුපටත් එක් කොට ඇති බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එළැඹෙන වසර වන විට රජයේ සේවක හා වැටුප් වියදම රුපියල් ට්‍රිලියනය ඉක්මවනු ඇති බවට ගණන් බලා තිබියදීත් මෙවැනි වියදමක් රටකට දරාගත නොහැකි බව රාජ්‍ය අංශයේම සේවකයෝ පෙන්වා දෙති.

හිටපු ජනපති ලේකම්වරයකු විසින් පසුගිය වසරේ මැයි 23 දා දාතමින් නිකුත් කරන ලද PS/CSA/00/1/9/11 දරන චක්‍රලේඛය මගින් මෙම දීමනාව අනුමත කර ඇත. සේවයේ යෙදී සිටින විට ගෙවන රුපියල් පනස් දහසක දීමනාව විශ්‍රාම ගිය පසුව විශ්‍රාම වැටුප සමග එක් කිරීමට මෙමගින් කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශ්‍රාම ගිය පසුව මෙම වරප්‍රසාදයට හිමිකම් කීමට හැකිය.

2019 වසරේ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 685ක් වෙන් කර තිබිණි. මෙම වසරේ ඉහළ නංවන ලද වැටුප වෙනුවෙන් අතිරේකව රුපියල් බිලියන 212කින් ඉහළ යාමත් සමග ලබන වසර වන විට එය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ යා හැකි බවත් මෙය ආර්ථිකයට දරාගත නොහැකි බවත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

යහපාලන රජය පත්වූ මොහොතේ රුපියල් බිලියන 147ක් වූ විශ්‍රාමිකයන් වෙනුවෙන් වෙන් කළ මුදල් රුපියල් බිලියන 270ක් දක්වා වැඩි කළ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමිකයන්ගේ සැමරුම් දිනයේදී කියා තිබිණි.

(Aruna)