Friday, July 04, 2025
Follow Us
ලක්ෂ 25 ක් නැත්තං ජනාධිපතිවරණයට එන්න බෑ - මැතිවරණ කොමිසමෙන් අලුත් යෝජනාවක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල් වැඩි කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් යෝජනාවලියක් සකස් කර තිබෙනවා. එම යෝජනාවලියට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු විසින් තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් ලක්ෂ 25 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 30 ක් තැන්පත් කළයුතු වේ.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වීම සහ ඒ නිසා සිදුවන අමතර වියදම් පාලනය කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

මේ වනවිට ඇප මුදල් සීමාව දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නම් රුපියල් 50,000 ක් සහ ස්වාධීන අපේක්ෂකයෙකු නම් රුපියල් 75,000 ක් වේ. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධ නීති වසර 30 ක් තිස්සේ සංශෝධනය වී නොමැති බවයි. ඒ නිසා ඕනෑම පුද්ගලයෙකුට කිසිදු අපහසුවකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව ලැබී ඇති බව ද එම කොමිසම පෙන්වා දෙනවා.

පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ද ඇප මුදල් අයකර ගත යුතු බවට මැතිවරණ කොමිසම මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකුගෙන් රුපියල් 5,000 ක් සහ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගෙන් රුපියල් 7,500 ක් අයකර ගත යුතු බව මැතිවරණ කොමිසම යෝජනා කර සිටිනවා.

(LNW)