Saturday, July 05, 2025
Follow Us
සද්භාවයෙන් කරන ක්‍රියා සඳහා FCID ගෙනියන්න බැරිවෙන්න පනතක් ගේනවා - අගමැති

සද්භාවයෙන් කරන ක්‍රියාවන් සඳහා රජයේ නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණවීමට නොහැකිවන පරිද්දෙන් පාර්ලිමේන්තු පනතක් සම්මත කර ඔවුන්ට ආරක්ෂාව සලසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද රජයේ නිලධාරීන් සියල්ලන්ම සිටින්නේ FCIDය විසින් රැගෙන යාවිදැයි බියෙන් යුතුව බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම පසුගිය යුගයේදී සමස්ත රජයේ නිලධාරීන්ම FCIDයේ ප්‍රශ්න කිරීමට ලක්වූ නිසා අද සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්‍ය වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

"FCID වැනි ආයතන මඟින් රාජ්‍ය සේවකයින්ට විවිධ චෝදනා එල්ල කරමින් ඔවුන් තීරණ නොගන්නා තත්වයකට පත් කළ නිසා මුළු රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා. රටේ වාසනාවට මේ රජයට පැහැදිලි පණිවිඩයක් ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදෙමින් ඒ දූෂිත සහ අදක්ෂ රජය පරාජයට පත් කළා.

මාගේ 2005 - 2014 වසර නවයක රජය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයත් කිසිවිටෙක දුන් පොරොන්දු කඩකරන්නේ නෑ කියන එක මං මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි කියන දේ කරනවා.

ඒ විතරක් නෙවෙයි මං කියන්න ඕනෙ, අද FCID අරන් යනවා කියන එකට තමයි ඔක්කොම බය. රජයේ නිලධාරීන් ඔක්කොම අරන් ගියා ! නමුත් සද්භාවයෙන් කරන ක්‍රියාවන් වලට ඉදිරියේදී, අනාගතයේදී ඒ අය පනතකින් ඔවුන්ගේ ආරක්ෂාව සැලැස්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවයි කියන එකත් මා මේ අවස්ථාවේදී තමුන්නාන්සෙලාට මතක් කර දිය යුතුයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ උත්සවය අමතමිනි.

(LNW)