Saturday, July 05, 2025
Follow Us
19 වෙනි සංශෝධනයයි ස්වාධීන කොමිෂන් සභායි එක්ක කිසිම වැඩක් කරන්න බෑ - ජනපති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා නිසා කිසිම වැඩක් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ බෙල්ලන්විල ධම්මරතන හිමි බැහැදුටු අවස්ථාවේදී ය.

"මේකෙ වැඩේ තියෙන්නෙ පහුගිය කාලෙ අර 19 වෙනි සංශෝධනයයි, නිදහස් ... මොනවද ... ඉන්ඩිපෙන්ඩන්ට් කොමිටි ... වලින් කිසිම වැඩක් කරන්න බෑ. පොලිසියෙ කෙනෙක් අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරවලා හොඳ මිනිහෙක් දාගන්නත් කොමිෂන් ගිහිල්ලා එහෙම වෙනවා නම් පොලිස්පතිතුමාගෙ වැඩක් තියෙනවද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ මෙසේය.

"අර දැන් අපේ ඉන්ක්වාරීස් කරපු මිනිහා අද දැන් අන්න පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා ! අද දැන් කිව්වා. දැන් මේ එන්ජීඕ කට්ටියට ඕනෙ විදියටනෙ ඔක්කොම හදලා තියෙන්නෙ. ශානි අබේසේකර එයාට හිතාගෙන ඒකට හරියන්න ඉන්ක්වාරි කරනවා, ඒවා ගැන එන්ජීඕ එක අහන්නෙ නෑ ප්‍රශ්න. ඒක හරි ... ?

ඒගොල්ලො අපිවයි, යුද්ධ කරපු අයවයි, නිලධාරීන්වයි, නාවික හමුදාපතිතුමා හිරේ දාන්නයි, බුද්ධි අංශ අයව හිරේ දාන්නයි, මාව හිරේ දාන්නයි ... එච්චර විතරක් නෙවෙයි, බුද්ධි අංශවල අයට ගිහිල්ලා බල කරනවා. එෆිඩෙවිට් එක්ක දුන්නා, මේගොල්ලො කොහොමද මගේ නම කියන්න කියලා බල කරපු නිලධාරීන්. ඒ එක්කෙනෙක්වත් කිව්වෙ නෑ හැබැයි එෆිඩෙවිට් දුන්නා, ඒකට කිසිම උත්තරයක් නෑ. එතකොට එන්ජීඕ එක එව්වා ප්‍රශ්න කරන්නෙ නෑ.

ජනතාව ඡන්දෙන් පත් කරලා තියෙනවානෙ. පත් කළේ වැඩ කරන්නනෙ. එන්ජීඕ කියන හැටියට වැඩ කරන්න පුළුවන්ද ? ජනතාව මේවා බලාගෙන ඉඳලානෙ ඡන්දෙ දුන්නෙ නේ ? ඒවා ඒ විදියට කරන්න ඕනෙ නම් ඉතිං ජනතාව වෙන මිනිහෙක්ව පත්කර ගන්නවානෙ ? පාර්ශ්ව දෙකම ජනතාවට මේ කරුණු කිව්වනෙ ? ජනතාව පිළිගත්තෙ මේ ක්‍රමේ. එතකොට ඒක අපි කරන්න ඕනෙ. එහෙම නැත්නම් හාමුදුරුවනේ අපි ජනතාව කියන එක නෙවෙයිනෙ එතකොට කරන්නෙ. ඉතිං මම පැකිළෙන්නෙ නෑ, ඒ ජනතාව මට බාරදුන්නු වැඩේ මම කරනවා" යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

(LNW)