Saturday, July 05, 2025
Follow Us
හිටපු ජනපති මෛත්‍රීත් කථානායක තනතුර බලාපොරොත්තුවෙන් !

වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා ඉවත් කර ඒ වෙනුවට වාසුදේව නානායක්කාර මහතා පත් කරගැනීමේ සැලැස්මක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් පවතින බව අපි පසුගිය සතියේදී වාර්තා කළෙමු.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තු පැමිණ කථානායක තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් නොමැති බැවින් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ සූදානමින් සිටින අතර හිටපු ජනාධිපතිවරයා වශයෙන් තමන්ට කිසිවකු යටතේ කටයුතු කළ නොහැකි නිසාත් ඉහළම ගෞරවනීය තනතුරක් අවශ්‍ය නිසාත් කථානායක පදවිය කෙරෙහි ඒ මහතා උනන්දුවෙන් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීම සඳහා පැවති සාකච්ඡාවලදී ද මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු තනතුර පිළිබඳ කේවල් කිරීමක් සිදුවුණු නමුත් අවසන් එකඟතාවක් පිළිබඳ වාර්තා වූයේ නැත.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැතැයි රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පසුගිය දින කිහිපය තුළ පැතිර ගිය අතර තමන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය උත්සාහ ගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා බවට ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊයේ චෝදනා කර තිබිණි.

(LNW)