ලබන දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ඒ අනුව නව රජය බලයට පත්වීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස් වන්නේ 03 වැනිදාය.
එදින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරියා පවසනවා. මේ වනවිට පත්කර ඇති කැබිනට් ඇමතිවරුන් වෙනුවෙන් ආසන පනවා ඇති අතර ඉදිරියේදී පත්වන රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ද ආසන පැනවීමට කටයුතු කරන බව ඔහු පවසනවා.
නව රජයක් බලයට පත් වී ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පත් කිරීම ද එදිනට සිදු කිරීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බව ද වාර්තා වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට තාවකාලික විරාමකයක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන අතර එම කාලය උපරිම මාස දෙකකි.
වාරාවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව හැරෙන්නට සෙසු කාරක සභා සියල්ලම අහෝසි වේ. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව එම කාරක සභා නැවත පත් කිරීමට සිදු වේ.
එම කාරක සභාවල බලය ආණ්ඩු පක්ෂයට හිමිකර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වාරාවසාන කරන්නේද යන්න වාර්තා වී නොමැත.
(LNW)