Saturday, December 28, 2024
Follow Us
අපේක්ෂකයො වැහි වැහැලා - ජනාධිපතිවරණ වියදම කෝටි 450 පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 450 ඉක්මවන මුදලක් වැයවෙනු ඇතැයි ජාතික මැතිවණ කොමිසම පවසයි. අද (04) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලටම වඩා මෙවර අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කිරීමට සූදානම් වන බවත් ඒ හේතුවෙන් සියලු වියදම් ඉහළ යා හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මේ වනවිට අපේක්ෂකයන් 22 ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති අතර තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ‍අපේක්ෂකයන් 25 කට වඩා වැඩි ප්‍රමාණයක් තරග කරනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකිය.

එසේ වුවහොත් මෙවර මැතිවරණයේදී ඡන්දදායකයා වෙත ලැබෙන ඡන්ද පත්‍රිකාව ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගුම ඡන්ද පත්‍රිකාව වනු ඇත.

එසේම මෙවර මැතිවරණයේදී දෙවැනි මනාපය හා තුන්වැනි මනාපය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වීමට සිදුවන තත්වයක් මතුව තිබේ. ඒ ප්‍රධාන අපේකෂකයන් දෙදෙනාට අමතරව සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගන්නා විකල්ප අපේක්ෂකයන් කිහිප දෙනෙකු තරග කිරීමට නියමිත බැවිනි. ජනාධිපතිවරණය ජය ගැනීමට නම් සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගත යුතු වන අතර එසේ නොමැති වුවහොත් දෙවැනි සහ තෙවැනි මනාප ගණනය කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරන්නේ.

(LNW)