Wednesday, November 20, 2024
Follow Us
ඩොලර් 96ට ගන්න තිබ්බ ගෑස් 129ට ගැනීම ගැන පරීක්ෂණ

ගෑස් ගැන ලිට්‍රෝ බලධාරීන් කියන්නේ ඇත්තද?


සියාම් ගෑස් සමාගමෙන් අමෙරිකානු ඩොලර් 96ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට අමෙරිකානු ඩොලර් 129 බැගින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා අදාළ පරීක්ෂණය සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (05) නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබාදුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට ඊයේ කැදවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබාදී තිබුණි.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළිබදවත් වහාම සොයා බලන ලෙස එම කමිටුව උපදෙස් දී තිබේ.

පසුගිය පෙබරවාරි මස වනවිට ගෑස් මිලදී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙට්‍රික් ටොන් 280,000 ක් සඳහා ටෙන්ඩර් කැඳවන ලද බවත් ඒ අනුව ගෑස් සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. ඒ අනුව සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96ක අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැඳවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකිවීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ලබාගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබාගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙට්‍රික් ටොන් 6,600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව අනාවරණය වී තිබුණි.

එහෙත් වාර ටෙන්ඩරය සඳහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඕමාන සමාගම මසකට ගෑස් මෙට්‍රික් ටොන් 25,000 බැගින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මාස 4ක් ලබාදීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය.

ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සඳහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

ඒ සඳහා ලෝක බැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් පවසා ඇත.

ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුවද අවම ලංසුකරු වන සියම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ලෝක බැංකු ඇ.ඩො මිලියන 70 ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළබඳව ද කමිටුවේ අවධානය යොමු විය.

මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලුවක්ව ඇති බවය.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද පවසා තිබේ.

ඒ අනුව මේ පිළිබදව කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනෙකු පමණක්වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවිය.

නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනෙකු සිටිය යුතු බවත් අනාවරණය විය.

තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදුකරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු දෙකම එකම පුද්ගලයෙකු දැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුර වෙනස් වුවද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී.

මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය වූ වහාම ඒ සඳහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවය.

ලිට්‍රෝ සමාමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලිට්‍රෝ සමාගමට මූල්‍ය සහය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ සමාගම සතු රුපියල් බිලියන 5ට ආසන්න මුදලක් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බවය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති, ලිට්‍රෝ හිටපු සභාපති විජිත හේරත්, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

Aruna