ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් නාවුක හමුදාවට ලබා දුන් P 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කිරීම ඊයේ(22) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණ.
මෙම අවස්ථාවට සහභාගි වීමට පැමිණි ජනාධිපතිවරයාට පළමුව නාවික හමුදා උත්තමාචාරය පිරිනැමිණ. ඉන් අනතුරුව මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත ප්රදානය කරන ලදී. නෞකාවේ අණදෙන නිලධාරීවරයා විසින් නෞකාව අධිකාරියට පත්කිරීමේ සන්නස්පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නෞකාවේ ලාංජනය, නාම පළකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිරාවරණය කරනු ලැබිණ. මෙම අවස්ථාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද සිදුකළ අතර හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජකවරුන් විසින් ද ආගමික ආශිර්වාද පිරිණමන ලදී. නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිරත විය. සංස්කෘතික අංග ගණනාවකින්ද මෙම උත්සවය සමන්විත විය.
මෙම නෞකාවේ දිග මීටර් 112කි. පළල මීටර් 12.4කි. උස මීටර් 7.8කි. ජලයෙන් ගිලි ඇති කොටස මීටර් 3.5කි. 1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව නිලධාරීන් 18ක් ඇතුළු 141 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතය. අධිකාරියට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාප තුළ සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, නිරීක්ෂණ මෙහෙයුම් සහ සාගර සම්පත් ආරක්ෂා කිරීම සඳහා යෙදවීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් සුයුවාන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් සහභාගි වූහ.
(Dinamina)