Sunday, May 05, 2024
Follow Us
බෝරා ආගමික උත්සවයට විශේෂ ආරක්ෂාව

ලබන පළමුවැනිදායින් ශ්‍රී ලංකාවේ ඇරඹෙන ජාත්‍යන්තර අෂර මුබාරක බෝරා ආගමික උත්සවය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන ගමනා ගමන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පැවැසීය.

රටවල් හතළිහක නියෝජිතයින් විසිඑක්දහසක් ඒ සඳහා සහභාගි වන බැවින් ඔවුන් නවාතැන් ගන්නා හෝටල් නිවාස සුපිරි තට්ටු නිවාස සඳහාත් මෙම ආරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණෙන ප්‍රභූන් සෙසු නියෝජිතයින්ගේ ආරක්ෂාව සහ වාහන ගාල් කිරීම උදෙසාත් ක්‍රමානුකූලව ආරක්ෂක වැඩසටහනක් සිදුවෙන බවයි.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

කොළඹ නාගරික රථවාහන පොලිසියේ අධ්‍යක්ෂක චන්දන කොඩිතුවක්කු මහතා මෙහිදී රථවාහන සැලැස්ම පිළිබඳව පැමිණ සිටි බෝරා නියෝජිත පිරිසගේ අවධානය යොමු කළේ පුළුල් තිරයක් සහාය කරගනිමින්ය.

බෝරා සංවිධානයේ මහජන සම්බන්ධතා නිලධාරි මුෆඩාල් සෙයිනුදීන් මහතා (Mufaddal Zainuddin) මෙසේ අදහස් දැක්වූහ.

කොළඹ හෝටල් සහ නිවාස, සුපිරි මහල් නිවාස හාරදහසක් පමණ මේ වනවිටත් එතෙරින් පැමිණෙන නියෝජිතයින් කුලියට ගෙන හමාරය.

පැමිණෙන නියෝජිතයින්ගෙන් සීයට හැටක පමණ පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. විශේෂයෙන්ම නුවර සහ දකුණු පළාතේ මේ අයට සංචාරය කිරීමට අවශ්‍ය බව දැනටමත් දැනුම් දී තිබෙනවා.

මෙම උත්සවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය සමාජයීය පරිසරය සහ සෑම අංගයකටම ජවයක් ලබාදෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා දැක්වූ සහයට ස්තුතිවන්ත වෙනවා. පැමිණෙන නියෝජිත පිරිසට කිසිම අඩුවකින් තොරව සෑම පහසුකමක්ම සලසා දීමට රාජ්‍ය නිලධාරින් ගෙන්වා මෙම සාකච්ඡාව පැවැත්වූ සමන් ඒකනායක මහතාටත් ස්තුතියි.

යුද හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ඩී. එම්. ඒ. පී. දිසානායක, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අතිරේක ලේකම් මුහයිෆ් සංචාරක කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එස්. එම්. එල්. හසීම් මහත්වරු කොළඹ නගර සභාවේ අධ්‍යක්ෂිකා ඉෂාරා ජයසේකර මහත්වරු ගුවන්තොටුපළ ආගමන විගමන සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රමුඛතා කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළුව රාජ්‍ය ආයතන ගණනාවක නියෝජිතයෝ රැසක් බෝරා සංවිධානයේ උප සභාපති කුසයිමහා ජැෆර්ජි (Khuzaimah Jafferjee) මහතා ඇතුළු කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්වූහ.

(Dinamina)