Sunday, May 05, 2024
Follow Us
ජනපති අතින් ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජාතිය උදෙසා කරන ලද අතිකීර්තිමත්, අති විශිෂ්ට හා ප්‍රශංසනීය සේවාව සඳහා ජාතික සම්මාන පිරිනැමීම මෙම මහොත්සවයේදී ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය.

මෙම උත්සවයේදී දේශමාන්‍ය සම්මාන 06ක්, ශ්‍රී ලංකා රත්න සම්මාන 01ක්, දේශබන්දු සම්මාන 10ක්, විද්‍යා ජෝති සම්මාන 06ක්, කලාකීර්ති සම්මාන 09ක්, ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන 08ක්, විද්‍යා නිධි 03ක්, කලා ශූරි සම්මාන 11ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 11ක්, වීර ප්‍රතාප සම්මාන 02ක්, ශ්‍රී ලංකා රන්ජන සම්මාන තුනක් අදාළ ක්ෂේත්‍ර උදෙසා අද්වීතීය සේවාවක් කළ උත්තම පුරවැසියන් උදෙසා ජනාධිපතිවරයාගේ සුරතින් සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් නොවන එහෙත් මාතෘ භූමියේ හා පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් කළ උත්කෘෂ්ඨ මෙහෙවරට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රත්න සම්මානය ජපන් ජාතික යසුෂි අකාෂි මහතාට පිරිනමන ලද අතර, ශ්‍රී ලංකා රන්ජන යනුවෙන් වූ සම්මාන විශිෂ්ට සේවාවනට කැපවූ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් තිදෙනකු හට ප්‍රදානය කරන ලදී.

සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සම්මාන ලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

මේ අවස්ථාවට මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන්, ජාතික සම්මාන ලාභීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් විශේෂඥයන් විද්‍යා, කලා, සංස්කෘතික යන ක්ෂේත්‍රයන් හි නියැලෙන්න ප්‍රවීණයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Dinamina)