Sunday, May 05, 2024
Follow Us
වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය සහතික කරන්න අලුතින් ගුරුවරු 5000ක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් - අසමත්භාවය නොසලකා සෑම සිසුවකුට ම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තමා වෙත දැනුම්දී ඇති බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.2020 වර්ෂය සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම සඳහා හෝමාගම, පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ ඊයේ පැවැති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිරයාවරයා මේ බව පැවසීය.

වෘත්තීය ප්‍රවේශයක් සහිත මෙම ‍නව අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මීට පෙර ගුරුවරුන් 1500ක් බඳවා ගත් බවද ඇමැතිවරයා සඳහන් කෙළේ ය.

2017 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම උසස් පෙළ වෘත්තීය විෂයධාරාව යටතේ සිසුන්ට නව ලොව රැකියා වෙළෙඳ පොළ ජයගත හැකි වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ.

ඔවුන්ගේ රැකියා ගත පුහුණු කාලසීමාවේ දෛනිකව රුපියල් 500ක දීමනාවක් ගෙවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

(Dinamina)