Saturday, July 05, 2025
Follow Us
ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට සාක්ෂි දීමට එන්නැයි පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන තේරීම් කමිටුව දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්‍ෂි විමසීමෙන් පසුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්‍ෂි විමසීම් අවසන් කිරීමට එම කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

සිය කාරක සභාව වෙත සාක්‍ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය පළ කරන්නේ නම් පමණක් ඔහුගෙන්ද සාක්‍ෂි විමසන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඉන්පසු අවසන් වාර්තාව කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා බව විශේෂ කාරක සභාවේ නියෝජිතයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළා.

ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයින් ලබන 20 වනදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීමේ පෙනී සිටීමට නියමිතයි. එම කොමිසමේ සාමාජිකයින් වන සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පත්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් එදිනට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.

(Neth)